උතුරු කොරියාව ඉල්ලන දේ දෙන්න බෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර සාකච්ඡා අසාර්ථක වූයේ, තම රටට පැනැවූ සම්බාධක ඉවත් කරන්නැයි උතුරු කොරියාව කල ඉල්ලීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ නිසා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් එකඟ වූ පරිදි උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇති බවත් එය සතුටට කරුණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත්, ඇමෙරිකාව බලාපොරොත්තු වන අන්දමට න්‍යෂ්ටික අවිහරණයක් සිදු වී නොමැති හෙයින්, උතුරු කොරියාවේ ඉල්ලීමට කන් දිය නොහැකි බව ජනපති ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇති අන්දමට, උතුරු කොරියා නියෝජිත කණ්ඩායමට ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ, උතුරු කොරියාව ආරම්භ කළ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාව උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක මුළුමනින්ම ඉවත් කරන ලෙසටය.

කෙසේ නමුත් උතුරු කොරියා නියෝජිත කණ්ඩායමට එක් වී සිටින එරට විදේශ ඇමැති රී යොංග් හෝ පසුව හැනොයි නුවර පැවැත්වූ මාධ්‍ය හමුවේ දී කියා සිටියේ, සම්බාධක සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි උතුරු කොරියාව ඇමෙරිකාවෙන් ඉල්ලා නොසිටි බවත්, සම්බාධකවලින් කොටසක් පමණක් ඉවත් කරන්නැයි ඉල්ලා සිටි බවත්ය. ‘අප කළේ බොහොම සාධාරණ ඉල්ලීමක්. අප ඉල්ලන්නේ පනවා ඇති සම්බාධකවලින් කොටසක් පමණක් ඉවත් කරන්නයි. අපේ ‘යොංග්බයොන්’ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු මේ වනවිටත් අප නවතා දමා තිබෙනවා. න්‍යෂ්ටික අවිහරණ කටයුතු ඇමෙරිකන් අධීක්ෂණයට අපි ඇමෙරිකන් නියෝජිකයන්ට එන්නැයි ආරාධනා කරනවා. මම හිතනවා, සම්බාධකවලින් කොටසක් ඉවත් කරන්නැයි උතුරු කොරියාවේ ඉල්ලීම අසාධාරණ නැහැ’ යැයි උතුරු කොරියා නායක රී මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

උතුරු කොරියාව ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සිදු කරන්නේ ‘යොංග්බයොන්’ න්‍යෂ්ටික බලාගාරය හරහාය. උතුරු කොරියා විදේශ ඇමැතිවරයා පවසන ආකාරයට එහි කටයුතු මේ වනවිට නවතා දමා ඇති අතර, උතුරු කොරියානුවන් දිගු දුර මිසයිල නිර්මාණය කරන්නේ ද නැත.

‘යොංග්බයොන්’ න්‍යෂ්ටික බලාගාරය උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය වුණත් උතුරු කොරියාව රහසේ තවත් න්‍යෂ්ටික බලාගාර දෙකක් පවත්වාගෙන යන බව ඇමෙරිකා බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිත කණ්ඩායමත්, කිම් ජොන් උන් ප්‍රමුඛ ඔහුගේ නියෝජිත කණ්ඩායමත් සාකච්ඡා පවත්වද්දී, ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත. සාකච්ඡා අතර මඟ නවත්වා දැමීම සිදුවී ඇත්තේ එම අවස්ථාවේදී හටගත් උණුසුම් තත්ත්වය නිසා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිත කණ්ඩායමත්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ ඔහුගේ නියෝජිත කණ්ඩායමත් සාකච්ඡා ආරම්භ කළේ ඊයේ (28) උදෑසනය. ඒ, වියට්නාමයේ හැනොයි අගනුවර මෙට්‍රෝපෝල් හෝටලයේය.

සමුළුව අසාර්ථක වීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නියෝජිත පිරිස යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. එසේ පිටත්ව යද්දී ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කියා සිටියේ, උතුරු කොරියාව සමඟ හෝ නායක කිම් ජොන් උන් සමඟ හෝ හිත් අමනාපයක් ඇති නොවුණු බවත්, කෙටි කාලීන විරාමයකින් පසු, යළිත් වරක් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කර සාකච්ඡා ආරම්භ වනු ඇති බවත්ය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද පැවැසෙයි.

ඇමෙරිකාව බලා පියාසර කරද්දී ට්‍රම්ප් ජපාන අගමැතිවරයාත්, දකුණු කොරියා ජනාධිපතිවරයාත් දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින්, උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS