උතුරු කොරියා නායකයාට දෙහි කපයි

සිය පළමු විදෙස් සංචාරයට එක් වෙමින්, දකුණු කොරියාවේ සොල් නුවරට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඞ් ට්රම්ප් දකුණු කොරියා පාර්ලිමේන්තුව අමතමින්, උතුරු කොරියාව දැඩි ලෙස විවේචනය කළේය.
උතුරු කොරියාව ‘හිතුවක්කාර’ අන්දමින් සිදු කරන මිසයිල අත්හදා බැලීම් ට්රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
‘අපිව අවතක්සේරු කරන්න එපා. අපිත් එක්ක හැප්පෙන්න එපා. එහෙම පුළුවන් කියලා බොරු හීන මවන්න එපා. ඔබ අවි අයුදවලින් සන්නද්ධ වෙන්නේ ඔබ රටේ ආරක්ෂාව වෙනුවෙන් යැයි ඔබ කියනවා. ඒත් ඒක වැරදියි. ප්රබල ආයුදවලින් සන්නද්ධ වුණා කියලා ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් උතුරු කොරියානු නාක කිම් ජොන් උන්ට දෙහි කැපුවේය.

‘නුඹගේ හිතුවක්කාර වැඩ නිසා නුඹේ රෙජීමයේ මළගම සිදුවේවි. නුඹ ගන්නා සෑම පියවරක්ම නුඹේ අවසානය වේවි’ යැයි ඇමෙරිකන් ජනපතිවරයා උතුරු කොරියා නායකයාට දොස් නගමින් කියා සිටියේය.
ට්රම්ප්, දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් ඉදිරියේ උතුරු කොරියා නායකයා ඉලක්ක කර ගනිමින් සෘජුව ඔහුට දොස් නැගීම සම්බන්ධයෙන් විවිධ මත පළ වී ඇත.
ට්රම්ප් දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී ඔහුට එරෙහිව ඇතැම් දකුණු කොරියානු වැසියෝ විරෝධතා රැළියක් ද පැවැත්වූහ. ට්රම්ප් යුද මානසිකත්වයක් ඇති නායකයකු බවටත්, ඔහු යුද්ධ කරන්න උත්සාහ ගන්නා බවටත් විරෝධතාවේ නියැලුණු පිරිස් දොස් නගන්න වූහ.
ඇමෙරිකා ජනපති මෙම ආසියානු සංචාරයේදී ආසියානු රටවල් පහක සංචාරය කරයි. ට්රම්ප් සමඟ ඔහුගේ බිරිඳ මෙලානියා ද මෙම සංචාරයට එක් වී සිටින්නීය.
(ඒ.එෆ්.පී.)

