උතුරු කොරියා නායකයා හැනොයි බලා ගමන් අරඹයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සමුළුවට සහභාගීවීම සඳහා උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිය විශේෂ දුම්රියෙන් වියට්නාමය බලා ගමන් ආරම්භ කළේය.

උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර සිට චීනය හරහා වියට්නාම් දේශසීමාවට ළඟා වීමට කොරියානු නායකයාගේ දුම්රියට දින 2 1/2 ක් ගත වනු ඇති බවත්, හෙට (25) නායක කිම් ජොන් උන් වියට්නාමයට පැමිණෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව පැවැත්වෙන්නේ ලබන 27 සහ 28 දෙදින හැනොයි අගනුවරය. නායකයන් දෙදෙනා පළමු වරට හමුවූයේ පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේදීය. උතුරු කොරියා නායකයා එම සමුළුවට සහභාගී වූයේ සාමය වෙනුවෙනි. එහිදී, න්‍යෂ්ටික අවිහරණයට කිම් ජොන් උන් කැමැත්ත පළ කළේය.

ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප් හමුවීමට පෙර, උතුරු කොරියා නායක කිම් ජොන් උන් වියට්නාම් ජනාධිපති නුගුයාන් ප්හූ ත්‍රොන් හමුවීමට නියමිතය. කිම් ජොන් උන් වියට්නාමයට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

දෙවැනි හමුව සඳහා වියට්නාමය තෝරා ගැනීම සිදුවූයේ උතුරු කොරියානුවන්ගේත් ඇමෙරිකානුවන්ගේත් කැමැත්ත පරිදිය. වියට්නාමය උතුරු කොරියාව සමඟත් ඇමෙරිකාව සමඟත් යහපත් සබඳතා පවත්වන ආසියානු රටකි. කලක් පස මිතුරන් වුවත්, අද ඇමෙරිකාවේ සහාය ලබා ගනිමින් වියට්නාමය විශාල දියුණුවක් ලබා ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා ඇත්තේ, උතුරු කොරියාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් බොහොමයක් ඇති බවය.

උතුරු කොරියාවත් වියට්නාමයත් කොමියුනිස්ට් රාජ්‍යයයන්ය. කෙසේ නමුත් උතුරු කොරියාව මෙන් නොව, ඇමෙරිකාව සමඟ කළ යුද්ධයෙන් පසු, වියට්නාමය දියුණු වී ඇත්තේ, කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමිනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS