උතුරු කොරියා - ඇමෙරිකා විශේෂ නියෝජිතයා මරාදමලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ වියට්නාමයේ පැවැති හමුව අසාර්ථකවීම සම්බන්ධයෙන්, උතුරු කොරියාව ඔවුන්ගේ ඇමෙරිකන් නියෝජිත කිම් යෝක් චෝල් ඇතුළු විදේශ අමත්‍යාංශයේ උසස් නිලධාරීන් සිවුදෙනකුට මරණ දඬුවම ලබා දී ඇතැයි වාර්තා වේ.

කිම් යෝක් චෝල් සහ විදේශ අමත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිවුදෙනා ඇමෙරිකාවේ වාසියට කටයුතු කළ බවටත්, ඔවුන් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ද්‍රෝහිකම් කළ බවටත් චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් වීමෙන් මරණ දඬුවම හිමිවී ඇත.

මේ බව අනාවරණය කළේ දකුණු කොරියානු මාධ්‍යය. පිරිසට මරණ දඬුවම හිමිවී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී යැයි ද පැවැසෙයි. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වුණේ පසුගිය පෙබරවාරියේය.

එම සමුළුවේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු නියෝජිත කණ්ඩායම ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඇතුළු නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ, තමන් න්‍යෂ්ටික අවිහරණයට යොමු වී ඇති බැවින් ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ලිහිල් කරන ලෙසය.

මුළුමනින්ම න්‍යෂ්ටික අවිහරණය කරන තුරු සම්බාධක ලිහිල් නොකරන බව ජනපති ට්‍රම්ප්ගේ ස්ථාවරය විය. ඒ අනුව, සාකච්ඡා අසාර්ථක වූ අතර, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු නියෝජිත පිරිස සාකච්ඡා අතරමඟ නවත්වා පිටවී ගියහ.

උතුරු කොරියා නායකයාත් ඇමෙරිකන් ජනාධිපතිවරයාත් අතර පළමු සහ දෙවැනි හමුව පැවැත්වූයේ දෙරටේ විශේෂ නියෝජිතයන් දෙදෙනාගේ මැදිහත්වීමෙනි. උතුරු කොරියාව ඇමෙරිකන් විශේෂ නියෝජිතයා ලෙස කිම් යෝක් චෝල් පත් කරද්දී ඇමෙරිකාව, උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිතයා වූයේ ස්ටීවන් බීගන්ය.

හැනොයි නුවර සමුළුවට සහභාගීවීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් වියට්නාමයට ගියේ දේශසීමා හරහා ඔහුගේ විශේෂ දුම්රියෙනි. කිම් ජොන් උන් අසලින් එම දුම්රියෙන් ගමන් කළ තැනැත්තා වූයේ කිම් යෝක් චෝල් යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

සෝල්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS