ඊබ්‍රහීම්ට රජුගෙන් සමාව



ලිංගික අපචාර චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින මැලේසියා විපක්ෂ නායක අන්වාර් ඊබ්‍රහීම් ට, මැලේසියා රජුගෙන් සමාව ලැබී ඇති බව අභිනවයෙන් අගමැති ධුරයට පත් මහතීර් මොහොමද් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

රජුගෙන් සමාව ලැබීමත් සමඟ අන්වාර් ඊබ්‍රහීම්ගේ සිරදඬුවම ද අවසන් බව නව අගමැතිවරයා ලෙස මහතීර් මොහොමද් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

මහතීර් මොහොමද්, මැලේසියා මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘පාකාතාන් හරප්පාන්’ විපක්ෂ දේශපාලන සංධානයෙනි. ‘පාකාතාන් හරප්පාන්’ යන්නෙහි අර්ථය ‘බලාපොරොත්තුවේ හවුල’ යන්නය.

මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් වූයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙහෙයවීමට සුදුස්සකු නොවුණු නිසා, එම පක්ෂ කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමිනි. සුදුසු වාතාවරණයක් උදාවීමෙන් පසු, තමන් අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම් පවරා දී ඉවත්වන බව ද මහතීර් මොහොමද් අවධාරණය කර තිබේ.

මේ අතර, මැතිවරණ පරාජයත් සමඟ ධුරයෙන් ඉවත් වන අගමැති නජීබ් රසාක්ගේ රජය විසින් සිදු කළැයි පැවැසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් වහා සොයා බලන බව, අගමැති ධුරයේ දිවුරුම් දෙමින් 92 හැවිරිදි මහතීර් මොහොමද් අවධාරණය කර ඇත.

අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ පාලක පක්ෂයට පසුගිය දා පැවැති මහ මැතිවරණයේදී ප්‍රබල පරාජයක් අත් විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ මැලේසියා සංවර්ධන අරමුදලින් මුදල් ගසා කෑ බවට එල්ල වන චෝදනාවය.

මැලේසියා සංවර්ධන අරමුදලින් අතුරුදන් වුණැයි පැවැසෙන මුදල්වලට සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා, අතුරුදන් එම මුදල යළි එක් රැස් කර ගැනීමට ද පියවර ගන්නා බවට මහතීර් මොහොමද් ප්‍රතිඥා දී ඇත.

පරාජයට පත් වූ අගමැති නජීබ් රසාක්ගේ ‘බරිසාන් නැසුනාල්’ පක්ෂය පසුගිය වසර 61 පුරාවට මැලේසියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේය. ‘බරිසාන් නැසුනාල්’ පක්ෂය පිහිටුවීමෙහිලා පුරෝගාමියකු ලෙස කටයුතු කළේ ද මහතීර් මොහොමද්ය. නජාබ් රසාක්ට ගුරුහරුකම් ලබා දී ඇතැයි පැවැසෙන්නේ ද මහතීර් මොහොමද් ය.

මහතීර් මොහොමද් මීට පෙර මැලේසියාවේ අගමැති ධුරයේ කටයුතු කළේ 1981 වසරේ සිට 2003 තෙක් කාලයේය. කවුරුත් පුදුමයට පත් කරමින් ඔහුට යළි ජනවරමක් හිමිවූයේ රටේ සිදුවුණු මූල්‍ය වංචා සහ දූෂණ හේතුවෙනි.
මහතීර් මොහොමද්ගේ ජයග්‍රහණයට හේතුවක් වූයේ තරුණ තරුණියන්ගේ ඡන්ද යැයි ද පැවැසෙයි. මැලේසියා තරුණ කොටස් තුළ මහතීර් මොහොමද් තුළ ඇත්තේ ලොකු ගෞරවයක් සහ පැහැදීමක් බව එයින් පෙනී යන බව මැලේසියා දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS