ඉස්ලාමීය ත්‍රස්තයෝ නවදිල්ලියේ



ප්‍රහාර සැලසුම් කරමින්, ‘ජායිෂ් ඊ මොහොමද්’ ඉස්ලාමීය ත්‍රස්ත සාමාජිකයන් සිවු දෙනකු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඇතැයි එරට බුද්ධි අංශ අනතුරු ඇඟවීය.

බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවමින් කියා සිටියේ, ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්තයන් සිවුදෙනා හොඳින් ආයුධ සන්නද්ධව සිටින බවය. ඒ අනුව, නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමට දිල්ලි බලධාරීහු පියවර ගත්හ. මාර්ග රැසක මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුම් ද ඇරැඹිණි.

‘ජායිෂ් ඊ මොහොමද්’ (දෙවියන්ගේ හමුදාව) යනු පාකිස්තාන පාලනයට නතු කාශ්මීරය කේන්ද්‍රකොට ගනිමින් බිහිවුණු ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමකි. මොවුන්ට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ද සහාය හිමිවන බව පැවැසෙයි.

ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ මෙම ජායිෂ් ත්‍රස්තවාදීන්ය. මෙම ත්‍රස්ත කණ්ඩායමට පාකිස්තාන රජයේත්, පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශයේත් අනුග්‍රහය ලැබෙනවා යැයි ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා කරයි.

‘ජායිෂ් ඊ මොහොමද්’ සාමාජිකයන් සිවුදෙනා ඉන්දියාවට පැමිණ ඇත්තේ ඉන්දීය රජය ඔවුන්ගේ ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කරමින්, ඉන්දු කාශ්මීර වැසියන්ට ලබා දුන් විශේෂිත බලතල ඉවත් කළ නිසා, ඊට විරෝධය දැක්වීමට යැයි ද ඉන්දීය බුද්ධි අංශ වැඩිදුරටත් පවසා තිබේ. ‘ජායිෂ් ඊ මොහොමද්’ ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන සහ හින්දු සැණකෙළි ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවනු ඇති බවට ද ඉන්දීය බුද්ධි අංශ වැඩිදුරටත් අනතුරු ඇඟවීම් කර තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS