ඉරානයේ තෙහෙරාන් නුවර විස දුමෙන් වැහිලා- 412 ක් මියගිහින්

ඉරානයේ තෙහෙරාන් අගනුවර මාසයකට වැඩි කාලයක් තිස්සේ ගන විස දුමාරයකින් වැසී පවතින බවත්, ගතවුණු දින 23 ක් ඇතුළත ස්වසන රෝග සහ ස්වසන ආබාධවලට ලක්වුණු 412 දෙනෙකු මියගොස් ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
පාසල් ගණනාවක් වසා දමා ඇති අතර, තෙහෙරාන් බලධාරීන් නගර වැසියන්ට පවසා ඇත්තේ හැකිතාක් නිවෙස්වල රැඳී සිටින ලෙසය. මේ වනවිට කාර්යාල කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, වෙළෙඳසල් රැසක් වසා දමා ඇති බව ද දැනගන්න ලැබේ.
දින 23 ක් ඇතුළත 400 කට වැඩි පිරිසක් මියයෑම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තෙහෙරාන් නුවර නගරාධිපති මොහොමද් බගේර් පියවර ගෙන ඇත. ස්වසන ආබාධවලට ලක්වන වැසියන් වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවයක් ද යොදවා ඇතැයි ද වාර්තා වේ.
ඉරානයට එරෙහිව පනවා තිබුණු ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක ඉවත් කිරීමට බරහිර රටවල් මීට මාස ගණනාවකට පෙර කටයුතු කිරීමෙන් පසු, විදෙස් සංචාරකයන් ඉරානයට පැමිණෙමින් සිටින අතර මෙම විස වායු දුමාරය හේතුවෙන් සංචාරක කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. ඉරාන සංචාරක අමත්‍යාංශයේ නිලධාරීන් එසේ පැමිණෙන සංචාරයකන්ගෙන් සමාව ඉල්ලා කර ඇති බව ද වාර්තා වේ.
මෙම වායු දූෂණයට හේතු වී ඇත්තේ, තෙහෙරාන් අගනුවර ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින නිසා යැයි ද පැවැසෙයි. නුවර වෙසෙන මිලියන ගණනක් වැසියන් නිවෙස්වලින් පිටතට යන්නේ මුහුණු ආවරණ පැළැඳගෙනය.
ඉරානය තෙහෙරාන් අගනුවර පමණක් නොව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරත්, චීනයේ බීජීං අගනුවරත් මේ වනවිට මේ අයුරින්ම, විස ගන දුමාරවලින් වැසී පවතින බව වාර්තා වේ. චීනය මේ වනවිට කැනඩාවෙන් පිරිසුදු වායු බෝතල් ආනයනය කරන බව ද දැනගන්න ලැබේ.

