ඉම්රාන්ට සිර දඩුවම්



දූෂණ චෝදනාවලට වරදකරු වූ, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, ඉස්ලාමාබාද් අධිකරණය ඊයේ (5) වසර 3 ක සිර දඬුවමක් සහ පාකිස්තාන රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. ඊට අමතරව, ඉම්රාන්ට වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම ද තහනම්ය.

තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඉම්රාන් පවසා ඇත්තේ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය.

සුපිරි ක්‍රිකට් තරුවක් ද වන 70 හැවිරිදි ඉම්රාන්, පාකිස්තාන 2018 සිට 2022 දක්වා කාලයේ, අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විදේශවලින් ලැබුණු තෑගි භාණ්ඩ නීතිවිරෝධී ආකාරයට විකුණා මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණි. ඔහු වරදකරු වූයේ එම චෝදනාවලටය.

ඉම්රාන්, අග්‍රාමාත්‍ය බලතල අවභාවිත කරමින්, ලැබුණු එම ත්‍යාග භාණ්ඩ විකුණා පාකිස්තාන රුපියල් මිලියන 140 (ඇමෙරිකන් ඩොලර් 497,500) ක් මුදලක් ලබා ගත් බව පැවැසෙයි.

විකුණා මුදල් කළ බව පැවැසෙන එම තෑගි භාණ්ඩ අතරේ, රජ පවුලකින් ලැබුණු ඉතා වටිනා ඔරලෝසු කීපයක් ද ඇත. පාකිස්තාන රාජ්‍ය නිලධාරින්ට අනුව, ඉම්රාන් එම ඔරලෝසු විකුණා මුදල් ලබා ගෙන ඇත්තේ ඩුබායි නුවරදීය.

‘විදේශවලින් තෑගි භාණ්ඩ ලැබුණේ ඉම්රාන් ඛාන්ට නොව, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාටයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් එම ත්‍යාග විකිණීම හෝ ළඟ තබා ගැනීම වරදක්. ඔහු බලතල අවභාවිත කළා’ යැයි ඉස්ලාමාබාද් අධිකරණ විනිසුරු හුමායුන් දිලාවාර්, හිටපු අග්‍රාමාත්‍යවරයාට දඬුවම් නියම කරමින් පෙන්වා දී තිබේ.

‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයට නායකත්වය දෙන ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ පසුගිය වසරේය. ඒ, විපක්ෂය සන්ධානගතවී පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයෙන් ඔහු පරාජය වීමෙනි. තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීම පසුපස පාකිස්තාන හමුදාව සිටිනවා යැයි ඉම්රාන් චෝදනා කළත්, හමුදාව එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය මැයි මාසයේ ද දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඉම්රාන් අත්අඩංගුවට ගැණුනි. එම අවස්ථාවේ, පාකිස්තානය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා හටගැණුනි.

අධිකරණ තීන්දුවත් සමඟ, ලාහෝර් නුවර, ‘සමාන්පාක්’ නිවසේ සිටි ඉම්රාන් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු කොට් ලක්පට් බන්ධනාගාරයට රැගෙන ගිය බව මාධ්‍ය වාර්තා කළේය.

පොලිසිය කඩා වැදී, ගිනි අවි පෙන්වා, බලහත්කාරයෙන් ඉම්රාන් අත්අඩංගුවට ගැනීම ඉම්රාන්ගේ ජීවිතයට තර්ජනයක් වූ බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ මහ ලේකම් උමායිර් නියාසි බිය පළ කර තිබේ.

ඉම්රාන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, උමායිර් නියාසි ලාහෝර් මහාධිකරණයට පෙත්සමක් ගොනු කළ බව ද වාර්තා වේ.

මේ අතර, තමා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පවසමින්, ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන් අමතමින්, අත්අඩංගුවට ගැනීමට පෙර පටිගත කළ වීඩියෝ පණිවුඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

‘ඔවුන් මා අත්අඩංගුවට ගනීවි. සැකයක් නැහැ. කලබල නොවි සාමකාමීව හැසිරෙන්න. පක්ෂයේ කටයුතු සාමකාමීව කරගෙන යන්න. නොසැලී ශක්තිමත්ව සිටින්න’ යැයි එම පණිවුඩයේ සඳහන් වෙයි.

පාකිස්තාන පාර්ලිමේන්තුව ඉදිරි සති දෙකක් තුළ විසුරුවා හැරීමට නියමිතය. මහ මැතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට කටයුතු සූදානම් බව පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.


RECOMMEND POSTS