ඉම්රාන්ට නොබෙල් සාම ත්‍යාගය ?



ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සම්බන්ධයෙන්, මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට හිමිවිය යුතු යැයි පෙන්වා දෙමින් නව යෝජනාවක් පාකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව එරට පුවත් සේවා පෙන්වා දෙයි.

අගමැති ඉම්රාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි යන නව යෝජනාව ඊයේ (2) පාකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එරට සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමැති ඇමැති ෆාවද් චෞද්‍රි ය.

පාකිස්තානයේ ක්‍රියාත්මක ජායිෂ් ඊ මොහොමද් ත්‍රස්තවාදීන් ඉකුත් 14 වැනිදා ඉන්දීය දේශසීමා ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්කකර ගනිමින් පහර දීමත්, ඊට විරෝධය දක්වමින් ඉකුත් 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව, පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝනය කර ජායිෂ් ඊ මොහොමද් පුහුණු කඳවුරකට බෝම්බ හෙලීමත්, ඉන්දීය සහ පාකිස්තාන ගුවන් හමුදා එකිනෙකා සමඟ වෙඩි හුරමාරු කරගනිද්දී, ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටීමෙන්, එහි නියමුවා පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත්වීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය අතරේ යුද බියක් නිර්මාණය විය.

ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලවතුන් වන අතර, දෙරට අතර යුද්ධයක් නිර්මාණය වූයේ නම් එය ආසියානු කාලාපයට පමණක් නොව, මුළු ලොවටම තර්ජනයක් වනු ඇති බවත් යුද විශ්ලේෂකයෝ බිය පළ කරන්න වූහ.

හටගත් අර්බුදය එසැණින් සමතයකට පත් වූයේ, කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට තමන් කැමැති බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවැසීමත්, පාකිස්තාන හමුදා අත්අඩංගුවේ සිටි ඉන්දීය ප්‍රහාරක නියමු අභිනන්දන් වර්තමාන් නිදහස් කර ඉන්දියාවට බාර දීමට අගමැති ඉම්රාන් කටයුතු කිරීමත් සමඟය.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS