ඉන්දුනීසියා ජනපතිවරණය - මහ මැතිවරණය අද



ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. මැතිවරණයට පෙර ඊයේ (13) දිනයේ, මීට වසර 16 කට පෙර 2008 වසරේ දී මියගිය එරට හිටපු හමුදා නායක ජනරාල් සුහර්තෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක පෙනී සිටිමින් ඉන්දුනීසියානුවන්ගෙන් ඉල්ලීමක් කළේ තම බෑණා මෙන්ම ඉන්දුනීසියා වැසියන් අතරේ අතිශය ජනප්‍රිය දේශපාලනඥයකු වන ප්‍රාබෝවෝ සුබියැන්තෝට මානාපය දෙන ලෙසය.

ජනරාල් සුහර්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාපධිතිවරයාය. ඔහු කුරිරු දළදඬු පාලකයෙකු ලෙස ප්‍රකටය. එසේ වුවත් සුහර්තෝ සැමවිටම සිටියේ සිනාමුසු මුහුණින්ය. මේ නිසා සුහර්තෝ, ‘සිනාවෙන ජනරාල්’ යන නමින් ද ප්‍රකට විය. 2008 වසරේ මියයද්දී, ජනරාල් සුහර්තෝ 86 වියෙහි පසුවිය. ඊයේ (13) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු වීඩියෝවේ දකින්න ලැබුණේ සැබෑ ජනරාල් සුහර්තෝ නොව, පරිගණක ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ සියයට සියයක් ජනරාල් සුහර්තෝට සමාන තැනැත්තෙකි. ජනරාල් සුහර්තෝගේ සැබෑ කටහඬ යොදා ගනිමින් පරිගණකයෙන් නිර්මාණය කළ රූපයට හඬ කවා තිබුණි.

අද (14) පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනරාල් සුහර්තෝගේ බෑණා 72 හැවිරිදි ප්‍රාබෝවෝ සුබියැන්තෝ නියෝජනය කරන්නේ ‘ග්‍රෙරින්ද්‍රා’ දේශපාලන පක්ෂයයි. ප්‍රාබෝවෝ සුබියැන්තෝගේ බිරිඳ 64 හැවිරිදි සිතී හෙදියාටි ජනරාල් සුහර්තෝගේ දියණියයි. පරිගණක ඇසුරින්, ජනරාල් සුහර්තෝ රුව නිර්මාණය කර, ජනතකාව ඇමැතීමට සලස්වමින්, ප්‍රාබෝවෝ සුබියැන්තෝ ට සහාය දෙන්නැයි පැවසුවේ, එරට ‘ගොල්කාර්’ දේශපාලන පක්ෂයයි. ‘ගොල්කාර්’ යනු ඉන්දුනීසියාවේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වන අතර, මෙවර ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ සහාය හිමිවන්නේ අපේක්ෂක ප්‍රාබෝවෝ සුබියැන්තෝටය. පසුගිය ඉන්දුනීසියානු රජයේ ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබූවයේ ප්‍රාබෝවෝ සුබියැන්තෝ ය.

ඉන්දුනීසියාව යනු ආසියානු කලාපීය රාජ්‍යයකි. අද (14) දින ඉන්දුනීසියානු ජනාධිපතිවරණය පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වෙයි. උප ජනාධිපතිවරයකු ද තෝරා ගැනෙයි. එක් දිනක් තුළ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වෙන විශාලතම මැතිවරණයක් ලෙස මෙය සැලකෙයි.

ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට මිලියන 204 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටිති. 2019 ජනාධිපතිවරණයේදී සියයට 81 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව මැතිවරණ කොමිසම පවසා ඇත. පක්ෂ 18 ක් මැතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, පාර්ලිමේන්තුවේ ආසන 575 වෙනුවෙනි. ඉන්දුනීසියාවේ වත්මන් ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය. ඔහු ධුර කාල දෙකක් සම්පූර්ණ කර ඇති බැවින්, යළි ජනාපධිති ධුරය අපේක්ෂා කළ නොහැකිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS