ඉන්දු කාශ්මීරයට දුන් විශේෂ බලතල අහෝසියි



කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල අහෝසි කිරීමට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් නියෝගය කළේය.

ඒ සමඟ ආරක්ෂාව තර කරමින්, කාශ්මීරයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් නිවාස අඩස්සියට පත් කිරීමටත් ආරක්ෂක අංශ පියවර ගත්තේය.

ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් මුල්කොට ගනිමින්, දේශපාලනික වශයෙන් අස්ථාවර වූ ඉන්දු කාශ්මීරය වසර කිහිපයක පටන් ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පවතී.

හිමාලයට අයත් ඉන්දු කාශ්මීරය මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තයකි. ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ මෙම ප්‍රාන්තයේ විශේෂ පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. විශේෂ බලතල ලබා දීම ඒ අනුව සිදුවිය.

ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා පාර්ලිමේන්තුවේදී (රාජ්‍ය සභාවේදී) කියා සිටියේ, ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද්ගේ විශේෂ නියෝගයකට අනුව, එම විශේෂ පාලන ක්‍රමවේදය අහෝසි කළ බවය.

ඉදිරියේදී කාශ්මීරයේ ජම්මු සහ කාශ්මීරය පළාත් දෙක සඳහා වෙනම ව්‍යවස්ථාදායකයක් පත් කරන බවත්, කාශ්මීරයේ ලඩාක් පළාත ව්‍යවස්ථාදායකයක් නොමැතිව සෘජුව ඉන්දීය මධ්‍යම රජය යටතට පත් කෙරෙනු ඇති බවත් ස්වදේශ කටයුතු ඇමැතිවරයා පැහැදිලි කළේය.

ඉන්දීය ජනාධිපතිවරයා දුන් නියෝගයට අනුව ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය හදිසියේ අහෝසි කිරීම, ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂයේත් ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන්ගේත් දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කර ඇත්තේ, ජනාධිපතිවරයා ගත් මෙම තීරණය නව දේශපාලන අර්බුදයක් නිර්මාණයට හේතුවක් වනු ඇති බවය. දේශපාලනික වශයෙන් අර්බුදයක් පවතිද්දී, ඒ සඳහා මැදිහත් වී තීන්දු තීරණ ගැනීමට ඉන්දීය ජනාධිපතිවරයාට බලතල ඇත.

ආරක්ෂක අංශ මැදිහත් වී, නිවාස අඩස්සියට පත් කළ දේශපාලඥයන් අතර, ඉන්දු කාශ්මීරයේ හිටපු මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා සහ මහ ඇමැතිනී මෙහ්බූබා මුෆ්ටි ද සිටින බව පැවැසෙයි. මොවුන් ද ඉන්දීය ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය දක්වා ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වාා දෙයි.

ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය සිකුරාදා (2) ය. දේශපාලනඥයන්ට ජනතාව හමුවීම තහනම් කෙරුණු අතර ජංගම දුරකතන සංඥා සීමා කිරීමටත් අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 370 වැනි වගන්තිය අහෝසි කිරීමෙන් පසු ඉන්දියාව අමතර හමුදා සහ පොලිස් භටයන් දහස් ගණනක් ද කාශ්මීරයට යැවීමට පියවර ගෙන ඇත. මෙය පාකිස්තානයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජය කටයුතු කරන ආකාරය තමාගේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ එරට ආරක්ෂක කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

පසුගිය සිකුරාදා (2) ඉන්දීය ආරක්ෂක අංශ අනතුරු ඇඟවූයේ, පාකිස්තාන රජයේ සහ හමුදාවේ අනුග්‍රහය හිමිවන ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බවය. ඒ අනුව, හින්දු බැතිමතුන්, සංචාරකයන්, ඉන්දු කාශ්මීරයේ පාකිස්තාන දේශසීමාවට නුදුරින් පිහිටි ගම්මානවල ඉන්දීය වැසියෝ පවා දස දහස් ගණනින් ඔවුන්ගේ ගම්බිම් අත්හැර ආරක්ෂක ස්ථාන වෙත ගියහ.

ඉන්දු කාශ්මීරයේ, ශුද්ධ වූ ‘අම්රාත් ලෙන’ වන්දනාමාන සමය මේ වනවිට ආරම්භ වී ඇති අතර, ඉන්දියාවේ නන්දෙසින් හින්දු බැතිමත්හු ඒ සඳහා දකුණුදිග කාශ්මීරයට පැමිණෙති. සෑම වසරකම, දින 45 ක් ‘අම්රාත් ලෙන’ වන්දනාමාන කිරීමට හින්දු බැතිමතුන් ලක්ෂ ගණනින් දකුණු කාශ්මීරයට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

කාශ්මීර බලධාරීන් අනතුරු ඇඟවීම් කළේ, ඔවුන්ට ආරක්ෂක අංශ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ, හින්දු බැතිමතුන් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවය.

ඒ අනුව, 20,000 කට වැඩි හින්දු බැතිමතුන් පිරිසක් සහ කම්කරුවන් ඇතුළු ඉන්දීය වැසියන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉන්දු කාශ්මීර ප්‍රදේශය හැර ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා 4 නිකුත් කළ වාර්තාවක සඳහන් විය.

ඉන්දීය ආරක්ෂක අංශ කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින්, ඉන්දු කාශ්මීර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ජර්මනිය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත. ‘කාශ්මීර නිම්නයේ සහ අමර්නාත් යාත්‍රා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ ගමන් නොකරන්නැයි ජර්මන් විදේශ අමත්‍යාංශය කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS