ඉන්දු කාශ්මීරය මධ්‍යම රජයේ පාලනයට



ඉන්දු කාශ්මීරයට අයත් ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත නිල වශයෙන් ඉන්දීය මධ්‍යම රජය යටතට ගැනීම ඊයේ (31) සිදුවිය.

ජම්මු සහ කාශ්මීරය ඉන්දීය මධ්‍යම රජය යටතට පවරා ගැනීම සිදුවූයේ පසුගිය අගෝස්තු 5 වැනිදාය. ඒ, ඉන්දීය රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමත් සමඟය.

ජම්මු සහ කාශ්මීරය සෘජුව මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ යෝජනාව ඊයේ (31) ඉන්දීය ලෝක් සභාවට යොමු කරනු ලැබුවේ ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා විසිනි. එම යෝජනාවට ඒකමතිකව අනුමැතිය හිමිවිය. ආර්.කේ. මතූර් ජම්මු සඳහාත් ගිරිෂ් චන්ද්‍ර මුර්මු කාශ්මීරය සඳහාත් ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම්දීම ඒ අනුව සිදුවිය.

ජම්මු , කාශ්මීරය සහ ලඩාක් යනුවෙන් ඉන්දු කාශ්මීරය පළාත් තුනකින් සමන්විතය. පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු යෝජනාවට අනුව චීන දේශසීමාවට මායිම් වී පිහිටන ලඩාක් සඳහා වෙනම පාලනයක් හිමිවෙයි. ලඩාක් පාලනය වනු ඇත්තේ ජම්මු සහ කාශ්මීර් ආණ්ඩුකාරවරුන් යටතේය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ ජම්මු, කාශ්මීරය සහ ලඩාක් යන පළාත් සඳහා ස්වං පාලනයක් හිමිවී තිබුණි. ඒ අනුව, ඉන්දු කාශ්මීර මුස්ලිම් වැසියන්ට වැඩි තැනක් ලැබුණි. ඉන්දියාවේ බහුතරය වන හින්දු වැසියන්ට, කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීම පවා කළ නොහැකි විය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය, ඉන්දු කාශ්මීරයට ලබා දුන් බලතල අහෝසි කළේ, ඉන්දු කාශ්මීරයේ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු දේශපාලන නායකයන් නිවාස අඩස්සියට ගනිමිනි. ජනතා නොසන්සුන්තා වළක්වා ගැනීමට ඉන්දීය රජය දුරකතන සහ අන්තර්ජාල සේවා පහසුකම් අවහිර කළේය.

370 වැනි වගන්තිය යටතේ, ඉන්දු කාශ්මීරය කිසිදු සංවර්ධනයකට ලක් නොවුණු බව ඉන්දීය අගමැති මෝදි පෙන්වා දී තිබේ. ඉන්දීය මධ්‍යම රජයට පවරා ගැනීමෙන් පසු, ජම්මු කාශ්මීර සහ ලඩාක් පාලන ප්‍රදේශවල නව අධිවේගී මාර්ග ඉදිකිරීමටත්, දුම්රිය මාර්ග ඉදිකිරීමටත්, රෝහල් සහ පාසල් ඉදිකිරීමටත් ඉන්දීය රජය සූදානම් වෙයි.


RECOMMEND POSTS