ඉන්දීය විදෙස් ඇමැති ජගත් මහ ලේකම් හමුවෙති



ඇමෙරිකාවට ගොස් සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි.

රුසියන් යුක්රේන අර්බුදය, ඇෆ්ගනිස්තානයේ සහ මියන්මාරයේ පවතින අර්බුද ඇතුළු කලාපීය අර්බුද රැසක් සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.

රුසියාව යුක්රේනය සමඟ යුද්ධයකට පැටැලී සිටීම ගෝලීය වශයෙන් ආහාර අර්බුදයක් ඉන්ධන සහ බලශක්ති අර්බුදයක් මෙන්ම ආරක්ෂක අර්බුදයක් ද නිර්මාණය කිරීමට හේතුවක් වී ඇත. විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ජගත් මහ ලේකම්වරයා අතරේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

රුසියන් යුක්රේන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථව කටයුතු කරයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා තිබියදී පවා ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගනී. ඇමෙරිකාව පවසා ඇත්තේ එය නීති විරෝධී කටයුත්තක් නොවන බවත් සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බවත්ය.

ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු තලේබාන් ග්‍රහණයට යළි නතු වුණු ඇෆ්ගනිස්තානයේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට ඉන්දියාවේ දායකත්වය අවශ්‍ය යැයි ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට ගනිමින්, හමුදාව එරට බලය අල්ලා යළි හමුදා ජුන්ටාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ගේ සහ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්ගේ අවධානය යොමු විය. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS