ඉන්දීය රජයේ අයවැය 2017 පාර්ලිමේන්තුවට

ඉන්දීය ආණ්ඩුව 2017 වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති අරුන් ජෙට්ලි කියා සිටියේ දිළිඳු වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා වැඩි අවධානයක් යොමු කරන බවය.
පසුගිය වසරේ නොවැම්බර් අට වැනිදා රුපියල් 500 සහ 1,000 මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේය. ඒ, මුදල් විශුද්ධිකරණයට වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගත් තීරණයකට අනුවය.
ඉන්දීය අගමැති ප්රමුඛ ආණ්ඩුව ගත් එම ක්‍රියා මාර්ගයත් සමඟ ඉන්දියාවේ දිළිඳු වැසියෝ දැඩි අපහසුතාවකට ලක් වූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ගොවීන්ය.
මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසු අර්බුදවලට සහ ගැටලුවලට මුහුණ දුන් වැසියන් වෙනුවෙන් ඔවුන්ට සහනයක් ලබා දීම ඉන්දීය රජයේ ප්‍රමුඛත්වය වී ඇතැයි මුදල් ඇමැතිවරයා අයවැය ඉදිරිපත් කරද්දී වැඩි දුරටත් කියා සිටියේය.
දුෂ්කර ගම්මානවල කෘෂිකාර්මික කටයුතු ඉහළ දැමීම මෙවර අයවැයේදී ප්රමුඛත්වයක් ලබා දීමට රජය තීරණය කළ බව මුදල් ඇමැතිවරයා පැවැසීය. දුෂ්කර පළාත්වල මාර්ග ඉදිකිරීම්, අබලං මාර්ග අලුත්වැඩියාව, විදුලි බල සැපැයීම්, සනීපාරක්ෂණ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ද මුදල් ඇමැති අරුන් ජෙට්ලි කියා සිටියේය.
දුෂ්කර ගම්මානවල ගැමියන් වෙනුවෙන් දින 100 වැඩසටහනක් හඳුන්වා දීමට අයවැය හරහා කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 7.09 ක් යොදවන බවත් මුදල් ඇමැතිවරයා පැවැසීය. මීට පෙර ඉන්දීය දිළිඳු වැසියන් වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වෙන් කර නැතැයි ද මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙම වසරේ මාර්තුවේදී ඉන්දීය ආර්ථිකයේ දියුණුවක් අපේක්ෂා කළ හැකි යැයි එය සියයට 6.5 ක වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවත් මුදල් ඇමැති අරුන් ජෙට්ලි පැවැසීය. ගෝලීය ආර්ථිකයේ ඉන්දියාව ‘දීප්තිමත් ස්ථානයක’ පසුවන බව ද මුදල් ඇමැතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
දේශපාලන පක්ෂවලට ආධාර ලෙස මුදල් ලබා ගැනීමේ සීමාව ඉන්දීය රුපියල් 2,000 තෙක් අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බවත්, රුපියල් ලක්ෂ 2.5 සහ 5 අතර ආදායම්ලාභීන්ගෙන් උපයන ආදායම් බද්ධ සියයට 10 සිට සියයට 5 තෙක් අඩු කිරීම පියවර ගන්නා බවත් මුදල් ඇමැතිවරයා සිය අයවැය කතාවේදී පැහැදිලි කළේය.
(එන්.ඩී.ටීවී.)

