ඉන්දීය යානය සඳට ගොඩබාන්න සූදානම්
ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ නියමුවන් රහිත ගවේෂණ යානය අද රාත්‍රියේ (හෙට අලුයම) සඳ මතුපිටට ගොඩබෑමට නියමිත බවත් හෙට (7) දිනය ඉන්දියානුවන්ට ඓතිහාසික දිනයක් වනු ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමකි. මේ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක් යැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කියයි.
‘චන්ද්‍රයාන් 2’ යානය රොකට්ටුවක ආධාරයෙන් සඳට යැවීම ආරම්භ වූයේ පසුගිය ජූලි 22 වැනිදාය. පෘථිවි කක්ෂයට යැවීමෙන් පසු සති කීපයක් යානය එහි රැඳී සිටියේ සඳ බලා ගමන් ආරම්භ කිරීමට සුදුසු අවස්ථාව උදාවන තුරුය.
‘චන්ද්‍රයාන් 2’ ප්‍රධාන මවු යානයට තවත් යානා 3 ක් ඇතුළත් වෙයි. එයින් එකක් කක්ෂීය යානයකි. එම යානය මේ වනවිට මවු යානයෙන් මිදී සඳුගේ කක්ෂයට පිවිස සිටී. කක්ෂීය යානය වෙන්වී සඳේ කක්ෂයට ඇතුළු වූයේ පසුගිය දෙවැනිදාය.
සඳ මතට ගොඩබෑම සිදු කරන්නේ ‘වික්‍රම්’ නමැති ‘පතිතකරවන’ යානයයි. එම යානය සාර්ථකව පතිත කිරීම අද (7) අලුයම කාලයේ සිදුවෙයි. ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ අද අලුයම 1.30 ත් 2.30 ත් අතර කාලයේ යානය සඳ මතුපිටට ගොඩබානු ඇති බවය.
සඳුගේ කක්ෂයේ සිට පහළට ගොස් සඳ මතුපිට යානය පතිත කිරීම ඉතා සියුම් ලෙස කළ යුතුව ඇත. පහළට යෑමට යානයට මිනිත්තු 15 කාලයක් ගත වනු ඇතැයි ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය කියයි.
‘වික්‍රම්’ සාර්ථකව සඳ මත පතිත කළොත්, ඒ තුළ ඇති ‘ප්‍රාග්යාන්’ නමැති රොබෝ රෝවර් යානය සක්‍රීය වී, පිටතට පැමිණ, සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණයේ යෙදෙනු ඇත. ඉන්දියාව චන්ද්‍රයාන් 2 මෙහෙයුම ආරම්භ කළේ චන්ද්‍රයාන් 1 මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසුවය.
ඉන්දියාව ‘චන්ද්‍රයාන් 1’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම සිදු කළේ 2008 වසරේදීය. චන්ද්‍රයාන් 1 කක්ෂීය යානයක් විය. එය සඳුගේ කක්ෂයට වී, සඳ වටා යමින් සඳ සිතියම් ගත කළේය. ඒ, විශේෂිත රේඩාර් පද්ධතියක් යොදා ගනිමිනි. නාසා විද්‍යාඥයන් ද පවා මවිතයට පත් කරමින් සඳ මතුපිට ජල අංශු ඇති බව සොයා ගත්තේ මෙම මෙහෙයුමේදීය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

