ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි වටය ඇරැඹේ



මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ඉන්දීය ලොක් සභා මැතිවරණයේ සිවුවැනි අදියර අද (29) ආරම්භ විය.

සිව්වැනි අදියරේ මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ බිහාර්, ජර්කාන්ද්, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට, ඔඩීෂා, රාජස්ථාන්, උත්තර ප්‍රදේශ් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවලය. සිවුවැනි අදියරට පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශ 72 ක් ඇතුළත් වෙයි.

පසුගිය 2014 පැවැති මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය මෙම ඡන්ද කොට්ටාශ 72 න්, 56 ක් දිනා ගත්තේය. සෙසු ඡන්ද කොට්ඨාශ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය අතරේත් සෙසු පක්ෂ අතරේත් බෙදී ගියේය. කෙසේ නමුත් මෙවර භාරතීය ජනතා පක්ෂයට සෙසු පක්ෂවලින් විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර තිබේ.

මහාරාෂ්ට ප්‍රාන්තයේ අගනුවර ලෙසත්, ඉන්දියාවේ ව්‍යාපාරික අගනගරය ලෙසත් සැලකෙන්නේ මුම්බායි නුවරය. ඊට අමතරව, බොලිවුඞ් නළු නිළියන් බොහෝ දෙනකුගේ නිවහන ලෙස සැලකෙන්නේ ද මුම්බායිය.

මැතිවරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ බොලිවුඞ් නළු නිළියෝ ඔවුන්ට නියමිත ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කළහ. ඡද්නය ප්‍රකාශ කිරීමට ජනතාව උනන්දු කිරීමට පවා එම බොලිවුඞ් නළු නිළියෝ අමතක නොකළහ.

අජේ දෙව්ගන්, ප්‍රියංකා චොප්රා, අනුපම් කේර්, රාහුල් බෝස්, දීයා මිස්රා, මධුරි ඩික්සිත්, රේඛා සහ අමීර්ඛාන් උදෑසනින්ම ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මුම්බායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS