ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට ප්‍රහාරයක්

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකක් පහර දී බිම හෙලීමටත්, ඒවායේ නියමුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටත් තමන්ට හැකි වුණු බව පාකිස්තාන හමුදාව කියයි.
පාකිස්තාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා, ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානාවලට පහර දී ඇත්තේ, පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ සිටය. පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා දේශසීමා අසලින් පියාසර කරද්දී, ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා හමුවී ඇති බව පැවැසෙයි.
පාකිස්තාන ගුවන් හමුදාව කළ ප්‍රහාරයෙන්, ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙක පාකිස්තානයට කඩා වැටුණි. පැරැෂූට් ආධාරයෙන් පිටතට පැන්න ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් දෙදෙනා පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වුණු බවත් පාකිස්තාන හමුදා ප්‍රකාශක ජනරාල් අෂීෆ් ඝෆූර් මාධ්‍ය හමුවේ පැවැසීය.
පාකිස්තාන හමුදාව, ඉන්දීය ප්‍රහාරක යානාවලට මෙසේ පහර දුන්නේ ඉන්දීය ගුවන් හමුදාව ඊයේ (26) අලුයම දේශසීමා හරහා පාකිස්තානට පැමිණ පාකිස්තානයේ බලාකොත් වනාන්තර ප්‍රදේශයේ පිහිටි ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියට අයත් පුහුණු කඳවුරක් බෝම්බ හෙලා විනාශ කිරීමේ සිදුවීමට එකට එක කිරීමක් ලෙසය.
ඉන්දීය රජය ප්‍රකාශ කළේ, ඊයේ තම ගුවන් හමුදාව එල්ල කළ එම බෝම්බ ප්‍රහාරයෙන් ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියට අයත් සාමාජිකයන් 300 කට ආසන්න පිරිසක් මියගිය බවය.
ඉන්දීය ගුවන් හමුදාව එල්ල කළ එම ප්‍රහාරය ‘හමුදාමය ප්‍රහාරයක් නොවන බවත්, ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්රස්තවාදීන් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රහාර සැලැසුම් කළ නිසා බුද්ධි අංශ තොරතුරු අනුව එම පහරදීම කළ බවත් ඉන්දීය රජය පැවැසීය.
පසුගිය 14 වැනිදා ඉන්දු කාශ්මීරයේ, පුල්වාමා දිස්ත්‍රික්කයේ, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියයි. මොවුන්ට පාකිස්තාන රජයේ අනුග්‍රහය ලැබෙන බව ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකාව ද පවසයි.
(බී.බී.සී.)

