ඉන්දීය තරුණියක ආරක්ෂිතව ගෙන්වා ගැනේ



යුද්ධය හේතුවෙන් යුක්රේනයේ කර්කිව් හි සිර වී සිටි ඉන්දීය තරුණියක නිරුපද්‍රිතව නැවත ගෙන්වා ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.

පාරුල් මහාජන් නමැති මෙම තරුණිය යුක්රේනයේ කර්කිව් හි වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටි අතර රුසියානු ආක්‍රමණය හේතුවෙන් ඇය එම නගරයේ සිර ව සිට ඇත.

යුක්රේනයේ සිටින ඉන්දීය ජාතිකයන් සාර්ථකව නැවත රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව ‘ගංඟා’ යනුවෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහි එක් පියවරක් ලෙස මෙලෙස පාරුල් ව නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට සමත්ව ඇත.

“අපිත් එක්ක සිසු සිසුවියෝ ගොඩ දෙනෙක් හිටියා. අපිට කොහේටවත් යන්න අවසර ලැබුණේ නැහැ. අපි හිරවෙලා හිටියේ. අපි තිබුණු නරකම තත්ත්වයට මුහුණ දීලා හිටියේ. ඒක අපි හැමෝටම ඉතාම දුෂ්කර කාලයක්” යැයි පාරුල් කීවා ය.

පාරුල් මහාජන් ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීරයේ උදම්පූර් හි පදිංචිකාරියකි.

“මගේ සහෝදරිය ආරක්ෂිතව ගෙදර ආපු එක ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මම රජයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා” යැයි පාරුල්ගේ සහෝදරිය වන නේහා මහාජන් කීවා ය.

ගංඟා මෙහෙයුම යටතේ යුක්රේනයේ සිර වී ඉන්දියානුවන් 13,300 නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට හැකි වූ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් සති අන්තයේදී නිවේදනය කළේ ය.

ඉන්දීය ජාතිකයන් මුදා ගැනීමේ කටයුතු අධීක්ෂණය සහ අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යුක්රේනයේ අසල්වැසි රටවලට විශේෂි නියෝජිතයන් පස්දෙනකු පත් කිරීමට ඉන්දියාව මේ වනවිට පියවර ගෙන ඇත.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS