ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි



ඉන්දියාව, සඳ ගවේෂණයට යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්, ‘චන්ද්‍රයාන් 3’ යානය, අභ්‍යවකාශයට තල්ලු කළේ පසුගිය ජූලි 14 වැනිදා, ‘ජීඑස්එල්වී’ හෙවත් ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙනි.

ඉන්පසු ‘චන්ද්‍රයාන් 3’ යානය, පෘථිවි කක්ෂයේ රැඳෙමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසු, සඳ බලා ගමන් ඇරැඹුවේය. යානය සඳුගේ කක්ෂයට පිවිසියේ ඉන්පසුවය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. ඒ තුළ පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් ඇත. රෝවර් යානය ඇත්තේ පතිත කරවන යානය තුළය. රෝවර් යානයක් යනු රෝද සහිත ගවේෂණ යානයකි. සඳ මතුපිට එහෙමෙහෙ යමින් රෝවර් යානය දත්ත රැස් කිරීමට නියමිතය. පතිත කරවන යානය ‘වික්‍රම්’ යනුවෙන් ද රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. ‘ප්‍රාග්යාන්’ රෝවරය ද සමඟ ‘වික්‍රම්’ පතිත කරවන යානය සඳට ගොඩබෑම සිදුවන්නේ ලබන අගෝස්තු 23 වැනිදාය.

ඉන්දියාව, රෝබෝ යානා සඳ මතට පතිත කරවන පළමු අවස්ථාව මෙයයි. මෙතෙක් සඳට රොබෝ ගවේෂණ යානා පතිත කර ඇත්තේ ඇමෙරිකාව, රුසියාව සහ චීනය පමණි. සඳ මතුපිට ඇති අජල අංශු පිළිබඳ අධ්‍යයනය ඉන්දීය රොබෝ යානාවල අරමුණ වෙයි.


RECOMMEND POSTS