ඉන්දියාවේ පාලමක් කඩා වැටී 141 ක් මරුට



ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ මෝර්බි නගරයේ එල්ලෙන පාලමක් කඩා වැටී 141 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පහළ ගංගාවට වැටුණු 171 දෙනකු බේරා ගැනීමට හැකි වුණු නමුත් තවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන් බවත් පැවැසෙයි.

කඩා වැටුණේ ගුජරාඨ අගනුවර ලෙස සැලකෙන අහ්මදාබාද් සිට කිලෝ මීටර් 300 ක් දුරින් ඉදි කර තිබුණු පාලමකි. පාලම, වසර 150 කට වඩා පැරැණිය. එය ඉදි කරනු ලැබ ඇත්තේ, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේය. මීට සති කීපයකට පෙර පාලමේ නඩත්තු කටයුතු සිදු කළ බව බලධාරීහු පවසති. කෙසේ නමුත් ජනතාව චෝදනා කර ඇත්තේ පාලම නිසි ලෙස නඩත්තු නොකළ බැවින් එය කඩා වැටුණු බවය.

මීටර් 230 ක් දිග එම පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ මත 500 කට වැඩි පිරිසක් සිටියහ. ඒ, හින්දු ‘චාත් පූජා’ චාරිත්‍රය සමරමිනි. පාලම කඩා වැටී ඇත්තේ බර දරා ගැනීමට නොහැකි වූ බැවින් යැයි ප්‍රාන්ත බලධාරීහු පවසති. මියගිය සහ අතුරුදන් වූවන් අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. අතුරුදන් වූවන් සොයා කිමිඳුම් කණ්ඩායම් දිගටම මෙහෙයුම් පවත්වන බව ද වාර්තා වේ.

පාලම කඩා වැටීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි ගුජරාඨ ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍ය හර්ෂ් සංග්ගාවී උපදෙස් දී ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් ද පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විපතට පත්වූවන් සෙවීම සහ තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර දීම සඳහා ඉන්දීය හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කැඳවා තිබේ.
මියගිය අය පවුලේ සාමාජිකයකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ද තුවාල ලැබූ එක් අයකු වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ද ලබා දීමට ගුජරාඨ ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි.

පාලම කඩා වැටී අනතුර සිදුවෙද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තෙදින නිවාඩුවක් සඳහා ගුජරාඨයට පැමිණ සිටීම ද විශේෂත්වයකි. ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන් ද  විපතට පත්වූවන් වෙනුවෙන් යොදවන බව අග්‍රාමාත්‍ය මෝදි පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS