ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී 15 ක් මරුට: 40 ක් රෝහලේ



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි. තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදුවූයේ සංඥා දෝෂයක් හේතුවෙන් නතර කළ එක් මගී දුම්රියක්, පිටුපසින් එම දුම්රිය මාර්ගයේ ම ධාවනය වෙමින් තිබුණු සීඝ්‍රගාමී දුම්රියක් ගැටීමෙනි.

සංඥා දෝෂය හේතුවෙන් අතරමඟ නතර කෙරුණේ විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියයි. පිටුපසින් පැමිණ එම දුම්රියේ හැපුණේ විසාග් සිට රායිගාද් බලා ධාවනය වෙමින් තිබුණු සීඝ්‍රගාමී දුම්රියකි.

දුම්රිය ධාවනය නැවැත්වීමට රතු සංඥා දැල්වී තිබුණත්, විසාග් සිට රායිගාද් බලා ධාවන වෙමින් තිබූ දුම්රියේ රියැදුරුට එම සංඥාව මඟහැරීමෙන් අනතුර සිදුවිය. අනතුර සිදුවූයේ විශාඛාපට්ටම් නුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින්, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරිනි.

අනතුරුන් දුම්රිය දෙකේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගියේය. ඒවායේ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි. දුම්රිය මාර්ගයට ද හානි සිදුවුණු බැවින් දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු කෙරුණි.

අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සොව පළ කළේය. අනතුරින් මියගිය එක් මගියකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 2 ක් ද, තුවාල ලැබූවකු වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ද ලබා දීමට මෝදි කටයුතු කළේය. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීමට ද මෝදි අමතක නොකළේය.

ඉන්දියාවේ දුම්රිය අනතුරු බහුලය. මීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරක් සිදුවිය. එම අනතුරින් 280 ක් ජීවිතක්ෂයට පත්වූහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS