ඉන්දියාවේ කොරෝනා යළිත් වැඩිවෙයි



ඉන්දියාවේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මාස 3 කට පසු ඉහළ ගොස් ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 28,903 කි.

පසුගිය 2020 අවසන් වෙද්දී, ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 80,000 සහ 90,000 පසු කර තිබුණු නමුත් මෙම ජනවාරි වෙද්දී එය 10,000 තෙක් අඩු විය. හිටිහැටියේ වයිරස ආසාදිතයන් අඩුවීම ඉන්දීය සෞඛ්‍ය අංශ පවා මවිතයට පත් කළ කාරණාවක් විය.

වයිරස ආසාදිතයන් අඩු වුවත්, ආසාදිතයන් සොයා සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටජන් පරීක්ෂණ අඩු නොකළ බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ පැහැදිලි කළේය. ඊයේ (16) වෙද්දී ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 11,438,734 කි. සමස්ත මරණ ගණන 1,59,079 ක් යැයි පැවැසිණි.

ඉන්දියාවේ යළි ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩිවීමට හේතු කිහිපයක් ඇති බවත්, ප්‍රධාන හේතුව ඉන්දිය වැසියන් නිසි සෞඛ්‍ය පුරුදු පිළිනොපැදීම බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කරයි.

මේ වනවිට එංගලන්තයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රසීලයෙන් පළමු වරට හඳුනාගත් විකෘති කොරෝනා ප්‍රභේද ආසාදනය වූ ආසාදිතයන් ද හමුවී තිබේ.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS