ඉන්දියාව හරහා ‘හරිත ප්‍රාකාරයක්’



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව, ඉන්දියාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ‘හරිත ප්‍රාකාරයක්’ ඉදිකිරීමට ඉන්දීය රජය සැරැසෙයි.

‘හරිත ප්‍රාකාරයක්’ යනු ගස්වලින් පිරුණු තාප්පයකි. ඉන්දීය මධ්‍යම රජය සැලැසුම් කළ මෙම නව ව්‍යාපෘතියට අනුමැතිය හිමිවුවහොත් එය ආරම්භ වනු ඇත්තේ මෝදිගේ ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයෙනි.

ගුජරාටයේ සිට දිල්ලි-හර්යානා දේශසීමාව තෙක් කිලෝ මීටර් 1,400 ක් දිගට, කිලෝ මීටර් පහක් පළලට පැල සිටුවීම සිදුවනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා පරිසරය සුරැකීම සිදුවනු ඇති බවත්, බටහිර ඉන්දියාවේත් පාකිස්තානයේත් කාන්තාර ප්‍රාදේශ්වලින් ඉන්දියාවට හමා එන දූවිලි කුණාටු වැළැක්වීමට බාධකයක් ලෙස ක්‍රියා කරනු ඇති බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

මෝදිගේ ‘හරිත ප්‍රාකාරය’ ව්‍යාපෘතිය ඉන්දියානුවන් බොහෝ දෙනාගේ පැසැසුමට ලක්වී ඇති බවත්, ඊට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අනුමැතිය හිමිවනු ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

හරිත ප්‍රාකාර ලෙස එක දිගට එක පෙළට ගස් සිටුවා ප්‍රාකාරයක් නිර්මාණය මේ වනවිටත් අප්‍රිකා මහද්වීපයේ ආරම්භ වී ඇත.

ඒ අප්‍රිකා සංගමයේ මැදිහත් වීමෙනි. අප්‍රිකාවේ ‘හරිත ප්‍රාකාරය’ නිර්මාණය කෙරෙන්නේ අප්‍රිකා රටවල් වන සෙනගාලයේ සිටි ජිබුර්ටි තෙක්ය.

හරිත ප්‍රාකාරය අවසන් කිරීමට තවත් වසර 10 ක් ගත වනු ඇතැයි ද පැැවසෙයි. අප්‍රිකාවේ මෙම හරිත ප්‍රාකාරය නිර්මාණය කෙරෙන්නේ, කාලගුණ විපර්යාස පිටුදැකීමේ සහ වනාන්තර හෙළිපෙහෙළි කරමින් විනාශ කිරීම වැළැක්වීමේ අරමුණින්ය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS