ඉන්දියාව ප්‍රහාරයකට අරඅදිනවා



ඉන්දීය හමුදාව, පාකිස්තානයට පහර දෙන්න සූදානම් වන බව, බුද්ධි අංශ තොරතුරුවලින් දැනගන්න ලැබුණැයි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමද් කුරේෂි මාධ්‍ය හමුවේ පවසා ඇත.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සාමයට කැමැත්ත දැක්වූවත්, ඉන්දියාව සිටින්නේ යුද මානසිකත්වයකින් බව ද පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට දැඩි නොසන්සුන්තාවක් පවතී. ඒ, පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය බෙදුම්වාදීන් කළ ප්‍රහාරයකින් ඉන්දීය දේශසීමා පොලිස් මුර භටයන් මියයෑමේ සිදුවීමත්, ඊට විරෝධය දක්වමින්, ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන ගුවන් සීමාව ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයත්, ඉන්පසු පාකිස්තාන හමුදාව පහර දී ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානා බිම හෙලීමේ සිදුවීමත් මුල්කොට ගනිමිනි.

එසේ පහර දී බිම දැමූ ප්‍රහාරක යානයේ සිටි ගුවන් නියමුවා පාකිස්තාන හමුදාව විසින් අල්ලා ගත් අතර, පසුව හොඳ හිත පෙන්වීමක් ලෙස නිදහස් කරන ලදී. ඒ අනුව, ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් යුද උණුසුම යම්තාක් දුරකට පහව ගියේ යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ලැබුණු බුද්ධි තොරතුරු අනුව, ඉන්දීය හමුදාව ලබන 15 වැනිදා හෝ 16 වැනිදා පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් සකස් කර ඇති බව පාකිස්තාන විදේශ කටයුතු ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.

ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රටවල් දෙකකි. දෙරට අතර යුද්ධයක් නිර්මාණය වුවහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවට යුද විශ්ලේෂකයෝ බිය පළ කරති.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS