ඉන්දියාව චන්ද්‍රිකා 104 ක් උඩට යවයි

එක් රොකට් මෙහෙයුමකදී චන්ද්‍රිකා 104 ක් උඩු ගුවනට යවමින් ඉන්දියාව නව ලෝක වාර්තාවක් පිහිටුවීය.
මීට පෙර මේ අයුරින් චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් එක් රොකට් මෙහෙයුමකදී පෘථිවි කක්ෂයට යැවුවේ රුසියාවය. ඒ, 2014 වසරේදීය. රුසියාව එදා පෘථිවි කක්ෂයට යැවූ චන්ද්‍රිකා ගණන 37 කි.
ඉන්දියාව ගුවන්ගත කළ එම චන්ද්‍රිකා අතරින් වැඩි ප්‍රමාණයක් විදේශවල චන්ද්‍රිකාය. තවත් විශේෂයක් වන්නේ ඊට ඇමෙරිකන් චන්ද්‍රිකා 96 ක් ඇතුළත් වීමය. ඇමෙරිකාවට අමතරව, ඊශ්‍රායලය, කසස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය ද ඔවුන්ගේ චන්ද්‍රිකා ඉන්දියානු රොකට්ටුවෙන් උඩු ගුවනට යවනු ලැබීය.
ඉන්දියාව ඔවුන්ගේ රොකට් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මීට පෙර අවස්ථා ගණනාවකදී මේ අයුරින් චන්ද්‍රිකා රැසක් උඩු ගුවනට යවා ඇත. කෙසේ නමුත් මෙතරම් චන්ද්‍රිකා ප්‍රමාණයක් උඩු ගුවනට යැවූ පළමු අවස්ථාව මෙය වෙයි. ඉන්දියාව ලැබූ මෙම ජයග්‍රහණය ගැන තමන් ආඩම්බර වෙන බව පවසමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එම රොකට් මෙහෙයුමට සම්බන්ධ සියලුම දෙනාට ස්තුති කිරීමට ද අමතක නොකළේය.
චන්ද්‍රිකා 104 උඩු ගුවකට රැගෙන යනු ලැබුවේ ඉන්දියාවේ ‘පී.එස්.එල්.වී-සී.37’ රොකට්ටුවය. පැයට කිලෝ මීටර් 27,000 ක වේගයකින් (සාමාන්‍ය ගුවන් යානයක වේගයට වඩා 40 ගුණයක වේගයකින්) රොකට්ටුව පෘථිවි කක්ෂයට පිටත් කර හැරුණේ උදෑසන 9.28 ටය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘ශ්‍රී හරිකොත’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
මීටර් 44.4 ක් උස ‘පී.එස්.එල්.වී-සී.37’ රොකට්ටුව, චන්ද්‍රිකා ද සමඟ බර ටොන් 320 ක් විය. චන්ද්‍රිකා අතර ප්‍රධාන තැනක් ගත්තේ පෘථිවිය සිතියම් ගත කිරීමට උඩු ගුවනට යැවුණු ‘කාටෝසැට් 2’ චන්ද්‍රිකාව යැයි පැවැසෙයි. මෙම චන්ද්‍රිකාවේ බර 714 කි. ඇමෙරිකාව උඩට යැවූ චන්ද්‍රිකා 96 න් 90 ක් සන්නිවේදන චන්ද්‍රිකාය. ඒවා සැන් ෆ්රැන්සිස්කෝ සමාගමකට අයත් ඒවා යැයි ද පැවැසෙයි. මේවා ප්‍රමාණයෙන් කුඩාය.
රොකට්ටුව පෘථිවි කක්ෂයට ගිය පසු චන්ද්‍රිකා ස්වංක්‍රීයව රොකට්ටුවෙන් පිටතට පැමිණ පෘථිවි කක්ෂයේ රැඳවිණි. රොකට්ටුවේ කැබලි යළි ඉන්දීය සාගරයට පතිත වූ අතර, නැවත නැවත භාවිතයට ගත හැකි කොටස් ඉන්දීය නාවික හමුදාව විසින් එක් රැස් කර ගන්නා ලදී. විදෙස් රටවල් ඔවුන්ගේ චන්ද්‍රිකා උඩු ගුවනට යැවීමට ඉන්දීය රොකට්ටු භාවිතයට ගන්නේ ඒ සඳහා මුදල් ගෙවීමක් ද කරමිණි.
(එන්.ඩී.ටීවී.)

