ඉන්දියාව 74 වැනි ජනරජ දිනය සමරයි



ඉන්දියාව74 වැනි ජනරජ දිනය සැමරීය. ජනරජ දිනය නිමිත්තෙන්, නවදිල්ලි අගනුවර, හමුදා ශක්තිය සහ සංස්කෘතික විවිධත්වය ප්‍රදර්ශනය කරමින් ගාම්භීර පෙළපාළි පැවැත්විණි.

පෙළපාළිය ආරම්භ වූයේ නවදිල්ලියේ වේලාවෙන් උදෑසන 10.30 ටය. 74 වැනි ජනරජ දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ය. ඊජිප්තු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියේ පසුගිය 24 වැනිදා සවසය.

ජනාධිපති අල් සීසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්විණි.

නවදිල්ලි අගනුවර, පැවැති පෙළපාළියට ඊජිප්තු හමුදා සොල්දාදුවන්  කණ්ඩායමක් එක්වීම ද විශේෂත්වයකි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තු සොල්දාදුවන් 144​ දෙනකු සැමරුම් පෙළපාළියට එක් වී සිටි බවය.

ඉන්දීය හමුදා ශක්තිය මැනැවින් ප්‍රදර්ශනය කිරීමට පෙළපාළිය හරහා සිදුවිය. ඉන්දියාවේ නිෂ්පාදිත අවි ආයුධ රැසක් පෙළෙපාළියේ ප්‍රදර්ශනය කෙරුණි.

ජනරජ දිනය වෙනුවෙන් ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසුවේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් කළ නිදහස් සටන්කාමීන් සිහිපත් කරමින් ජනරජ දිනය සමරන බවය. ජනරජ දිනය වෙනුවෙන් නවදිල්ලි අගනුවර විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාවට නංවා තිබුණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS