ඉන්දියානුවන්ට බුස්ටර් එන්නත්



සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ලබන ජනවාරි 10 වැනිදා සිට ඉන්දියානුවන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් පැවැසීය.

තෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ 60 ට වැඩි වැඩිහිටියන්ට සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යැයි අග්‍රාමාත්‍ය මෝදි පැහැදිලි කළේ නත්තල් දා ජාතිය ඇමැතූ අවස්ථාවේදීය.

ඊට අමතරව, ජනවාරි 3 වැනිදා සිට ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ද එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ වනු ඇති බවත්, පාසල් සුපුරුදු පරිදි පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

'කොවිඩ් 19 වසංගතය තවමත් අවසන් නැහැ. ඔමික්‍රෝන් විකෘතිය වේගයෙන් ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා. ඒ නිසා තවත් එන්නත් මාත්‍රාවක් ලබා දීම සිදුවේවි' යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේය.

ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 7,189 කි. ඊයේ (25) වාර්තා වූ 'කොවිඩ් 19' මරණ ගණන 415 කි. මේ වනවිට ඉන්දීය ජනගහනයෙන් සියයට 61 කට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලැබී ඇති අතර, එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පිරිස සියයට 90 කට වඩා වැඩිය.

ඉන්දියාව තුළ නිපදවූ ලොව පළමු ඩී.එන්.ඒ. වර්ගයේ 'කොවිඩ් 19' එන්නත මෙන්ම, නාසයට ඉසින දියරයක් ලෙස නිර්මාණය කළ 'කොවිඩ් 19' එන්නත ද ලබන 2022 වසරේ සිට සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා බව අග්‍රාමාත්‍ය මෝදි ජාතිය ඇමැතූ අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS