ඉන්දියානුවන්ට එන්නත් මිශ්‍ර කරලා දෙන්නේ නෑ



ඉන්දියානුවන්ට 'බූස්ටර්' එන්නත් ලෙස ලබා දෙන්නේ, ඔවුන්ට පළමු සහ දෙවැනි එන්නත් ලෙස ලබා දුන් එන්නත්වල තවත් වර්ධක මාත්‍රාවක් බවත්, එන්නත් මිශ්‍ර කිරීමක් සිදු නොවන බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්දියානුවන්ට බූස්ටර් එන්නත් ලබා දීම ලබන ජනවාරි 10 වැනිදා ආරම්භ වෙයි. පළමුවෙන් එන්නත් ලැබෙන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවා නිලධාරීන්ටය. මේ බව දැනුම් දීම කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ය. ඒ, අග්‍රාමාත්‍යවරයා පසුගිය නත්තල් දා ජාතිය ඇමැතූ අවස්ථාවේදීය.

ඉන්දියානුවන්ට වැඩි වශයෙන් ලබා දී ඇත්තේ 'කොවිෂීල්ඩ්' සහ 'කොවැක්සින්' 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්ය. 'කොවිෂීල්ඩ්' යනු ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනක' එන්නතය. ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ සියයට 90 කට ලැබී ඇත්තේ මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය.

'කොවැක්සින්' යනු ඉන්දියාවේ 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම සියයට 100 ක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ 'කොවිඩ් 19' වැළැක්වීමේ ප්‍රතිශක්තිකරණ එන්නතය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ලබා ගෙන ඇත්තේ මෙම එන්නතය.

ලබන 10 වැනිදා සිට තෙවැනි එන්නත් මාත්‍රා ලබා දීම ආරම්භ වෙද්දී, පළමු සහ දෙවැනි එන්නත් ලෙස 'කොවිෂීල්ඩ්' එන්නත් ලබා ගත් අයට තෙවැනි මාත්‍රාව ලෙස තවත් 'කොවිෂීල්ඩ්' එන්නත් මාත්‍රාවක් ද, පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලෙස 'කොවැක්සින්' එන්නත් ලබා ගත් පිරිසට තෙවැනි මාත්‍රාව ලෙස 'කොවැක්සින්' එන්නත් මාත්‍රාවක් ද ලබා දීම සිදුවනු ඇත.

මෙසේ 'බූස්ටර්' මාත්‍රාව ලබා දෙන්නේ දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී මාස 9ත් 12ත් අතර කාලවිරාමයක් ගත වීමෙන් පසුව යැයි සෞඛ්‍ය අමත්‍යාංශය නව නිර්දේශ නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.

රටවල් බොහොමයක් තෙවැනි මාත්‍රාව නැතිනම් බූස්ටර් මාත්‍රාව ලෙස 'ෆයිසර් බයෝඇන්ටෙක්' එන්නත ලබා දීම සිදු කළත්, ඉන්දියාවේ 'ෆයිසර් බයෝඇන්ටෙක්' එන්නත එන්නත භාවිතය සිදු නොවන බව ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS