ඉතියෝපියා ජනපති යුද්ධ කරන්න සූදානම්



අවශ්‍ය වුවහොත්, ඊජිප්තුව සමඟ යුද වැදීමට පවා තමන් පසුබට නොවන බව, මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු ඉතියෝපියා අගමැති ඇබි අහ්මද් පවසයි. ඉතියෝපියා අගමැතිවරයා මෙසේ කියා සිටියේ එරට පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් අමතමිනි.

ඊජිප්තුව සමඟ යුද්ධයකට යන්නේ නම්, මිලියන ගණනින් ඉතියෝපියා වැසියන් තමන් සමඟ යුද්ධ කිරීමට සූදානමින් සිටිනවා යැයි ද අගමැති ඇබි එම අවස්ථාවේදී අවධාරණය කළේය.

අර්බුදයට මුල් වුණු වේල්ල ඉදිකරන්නේ ඉතියෝපියාවය. ඒ සඳහා බිලියන 5 ක මුදලක් වැය වෙයි. මේ වනවිටත් වේල්ලේ වැඩ කටයුතුවලින් සියයට 70 ක් අවසන් යැයි පැවැසෙයි. මෙම වේල්ල ඉදි කළොත්, එයින් ඉතියෝපියා වැසියන් මිලියන සියයකගේ විදුලිය අවශ්‍යතා සැපිරෙනු ඇත. වේල්ල ඉදි කෙරෙන්නේ නයිල් නදිය හරස් කරමිනි.

නයිල් නදිය ප්‍රධාන වශයෙන් ගලා බසින්නේ ඊජිප්තුව හරහාය. වේල්ල නිම කළොත්, ඊජිප්තු වැසියන්ට ලැබෙන ජලය ප්‍රමාණය සැලකිය යුතු මට්ටකින් අඩුවන බව ඊජිප්තුව පෙන්වා දී ඇත. ඊජිප්තු ජනාධිපති අල් සීසී අවස්ථා කිහිපයකදී, ඉතියෝපියා අගමැති සමඟ වේල්ල තැනීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වුවද එම සාකච්ඡා අසාර්ථක විය.

තම මිරිදිය ජලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉතියෝපියාවට එරෙහිව හමුදාව මෙහෙයවීමට තමන් සූදානම් යැයි ඊජිප්තු ජනාධිපති අල් සීසී පවසා ඇත. ඊජිප්තුව සමඟ යුද වැදීමට පසුබට නොවන බව ඉතියෝපියා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය. කෙසේ නමුත් යුද්ධ කිරීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවද සාකච්ඡා මාර්ගයෙන් පවතින අර්බුදය නිරාකරණය කර ගැනීමට තමන් පියවර ගන්නා බවද  ඉතියෝපියා අගමැති ඇබි අවධාරණය කළේය.

ඉතියෝපියා අගමැති ඇබිට මෙම වසරේ එනම් 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නොර්වේජියානු නොබෙල් කමිටුව තීරණය කළේ, ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර වසර 20 ක් තිස්සේ පැවැති විරසකය සමතයකට පත් කිරීමට 43 හැවිරිදි අගමැති ඇබි සමත් වූ බැවිනි. ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර අර්බුදයක් පැවැතියේ දෙරය දේශසීමාව මුල්කොට ගනිමිනි. අගමැති ඇබිගේ මැදිහත්වීමෙන් ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර මේ වනවිට යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හටගෙන තිබේ.

අබිස් අබාබාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS