ඉතාලියේ කොරෝනා 107 ක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව සෑම මහද්වීපයකටම පැතිර ගොස් ඇති අතර, වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 107 දක්වා ඉහළ ගියේය.

ඉතාලියෙන් හමුවුණු වයිරස ආසාදිතයන් ගණන 3,089 කි. වයිරදය ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය ගණන 276 ක් බව වාර්තා විය. ඉතාලියේ පා පන්දු තරග සහ ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල අප්‍රේල් 3 වැනිදා සිට නවතා දැමෙන බව ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ පවසා තිබේ.

‘කෝවිඞ් 19’ හෙවත් නව වයිරසය පැතිරීම වැළැක්වීමට සියලු පියවර ගෙන ඇති බවත් අනියත බියක් ඇති කර ගැනීමෙන් වළකින ලෙසත් අගමැති කොන්තේ ජනතාවට දැනුම් දුන්නේ ෆේස්බුක් හරහා විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිණි.

චීනයෙන් පිට දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානයෙනි. ඉරානයේ මරණ සංඛ්‍යාව 92 තෙක් ඉහළ ගියේය. ඉරානයේ කොරෝනා ආසාදිතයන් ගණන 2,922 කි. සුව වූ ආසාදිතයන් ගණන 552 කි.

චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි. දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 5,766 ක් යැයි සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කළහ. දකුණු කොරියාවෙන් මරණ 35 ක් වාර්තා වන අතර, රෝගය සුව වූ ගණන 41 කි.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS