ඉතාලියට පැනැවූ තහංචි ලිහිල් කෙරේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමට මාස දෙකක් තිස්සේ පනවා ඇති තහංචි කෙමෙන් ලිහිල් කරන බවත් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කරන බවත් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ පවසා ඇත.

‘ලොක්ඩවුන්’ තහංචි ඉවත් කිරීම ක්‍රමාණුකූලව අදියරෙන් අදියර සිදුවනු ඇති බවත්, එය ලිහිල් කිරීම් සිදුවනු ඇත්තේ ලබන මැයි 4 වැනිදායින් පසුව බවත් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

වෙළෙඳසැල්, කාර්යාල ආදිය විවෘත කළත්, ඉතාලියේ පාසල් ආරම්භ වනු ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදී යැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

චීනයෙන් පිට ලොව වැඩිම ‘කොවිඞ් 19’ මරණ සහ ආසාදිතයන් වාර්තා වූ රටක් ලෙස සැලකෙන්නේ ඉතාලියයි. කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය ඉතාලිය අභිබවා ඉදිරියට පැමිණ සිටී.

ඉතාලියේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,97,600 පසු කර අවසන්ය. ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 26,600 පසු කර ඇත. ‘කොවිඞ් 19’ මරණ ඉහළ අගයක් ගන්නා යුරෝපා රට ලෙස සැලකෙන්නේ ද ඉතාලියයි.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS