ඉතාලි අගමැතිගෙන් ප්‍රශ්න කෙරේ



ඉතාලියේ ‘කොවිඞ් 19’ වයිරසය පාලනය කරගත නොහැකි අයුරින් පැතිරුණේ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ ප්‍රමුඛ රජය, වයිරසය ගැන කිසිදු තැනීමක් කර නිසා යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ වී ඇත.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ නොසැලකිල්ල හේතුවෙන් ඉතාලිය ‘අමු සොහොනක්’ වූ බවට පැමිණිලි කර තිබෙන්නේ, වයිරසයෙන් මියගිය බර්ගාමෝ නගරයේ වැසියන්ගේ පවුල්වල සාමාජිකයන්ය.

බර්ගාමෝ යනු මිලාන් නුවරට නුදුරින් පිහිටි නගරයක් වන අතර, ඉතාලියේ ‘කොවිඞ් 19’ කේන්ද්‍රස්ථානය වූයේ බර්ගාමෝ නගරයයි. බර්ගාමෝ නගරයේ වයිරසය පැතිරීම ඇරැඹුණේ පසුගිය මාර්තු මාසයේදීය.

බර්ගාමෝ නගරයේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් හමුවට අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ කැඳවා ඇති අතර එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, නීතීඥවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. තමන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශනය සම්බන්ධයෙන් තමන්ට බියක් නොමැති බවත්, විමර්ශන කමිටුව හමුවේ තමන් පෙනී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එල්ල වී ඇති පැමිණිලි ගණන 50 කට වැඩිය. එම පැමිණිලි අනුව, විමර්ශනයක් පැවැත්වීම සිදු කරන්නේ ‘වී විල් රිපෝට්’ යන නමින් නම් කළ පුරවැසි සංවිධානයයි. බර්ගාමෝ නගරයේ ‘කොවිඞ් 19’ වයිරසය පැතිරෙද්දී, බර්ගාමෝ වැසියන් පළාත් බලධාරීන්ට, සෞඛ්‍ය බලධාරීන්ට පමණක් නොව අවසානයේ අග්‍රාමාත්‍ය කොන්තේ ට ද පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහල් වෙන් කර තබන ලෙසය.

කෙසේ නමුත් කිසිදු බලධාරියකු හෝ අග්‍රාමාත්‍යයරයා හෝ ඊට කන් දී නැතැයි චෝදනා එල්ල වෙයි.

ඊට අමතරව වයිරසය දරුණු ලෙස ව්‍යාප්තවුණු ලොම්බාර්ඩි පළාතේ ඇල්සානෝ සහ නෙම්බ්‍රෝ යන නගර සීල් තබන්නැයි ද ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා ඇති නමුත් ඊට ද බලධාරීන්ගේ අවදානය යොමු වී නැති බවට චෝදනා එල්ල වෙයි.

ඉතාලියේ ‘කොවිඞ් 19’ කොරෝනා ආසාදිතයන් ගණන 2,86,000 පසු කර තිබේ. මහා බි්‍රතාන්‍යයට පසු ‘කොවිඞ් 19’ ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වූ යුරෝපා රට වන්නේ ද ඉතාලියයි. යුරෝපයේ ‘කොවිඞ් 19’ වයිරසය පළමුවෙන් ව්‍යාප්තවීම සිදුවූයේ ද ඉතාලියේ ලොම්බාර්ඩි නගරය හරහාය.

ඉතාලියෙන් වාර්තා වූ මරණ ගණන 34,167 කි. අද වනවිට ආසාදිතයන් සහ මරණ අඩුවෙමින් පවතින හෙයින්, නිරෝධායන රෙගුලාසි අනුව, රට කෙමෙන් කෙමෙන් විවෘත කිරීමට අග්‍රාමාත්‍ය කොන්තේ පියවර ගෙන තිබේ.

මිලාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS