ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගන්නවා



ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ද ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේය.

අද වනවිට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවෝ 7,000 ක් රැඳී සිටිති. ඒ, අවශ්‍ය විටකදී ඇෆ්ගන් රජයේ හමුදාවට සහාය දැක්වීසේ අරමුණින්ය. මෙම සෙබළුන් යුද පිටියට යන්නේ නැති අතර ඇෆ්ගන් හමුදාවට උපදෙස් දීමත්, ඇෆ්ගන් හමුදා භටයන්ට අවශ්‍ය පුහුණුව දීමත් සිදු කරන බව පැවැසෙයි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙරේදා කියා සිටියේ මෙම 7,000 ක පිරිස යළි ඇමෙරිකාවට ගෙන්වා ගන්නා බවත්, ඇෆ්ගනිස්තානයේ තලේබාන් අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දෙන බවත්ය.

මේ වනවිටත් ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. තලේබාන් සංවිධානය තරයේ කියා ඇත්තේ, ඇමෙරිකන් හමුදා දිගටම ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින්නේ නම්, තමන් කිසිදු සාම වැඩපිළිවෙළකට කැමැති නොවන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS