ඇෆ්ගන් මානව හිමිකම් කඩවීම් ගැන අවධානය



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයේ දී ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ගැහැනු ළමයින්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරුණි.

ඇෆ්ගන් කාන්තාවන්ගේත් ගැහැනු ළමයින්ගේත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු කළේ ඉන්දීය රජය වෙනුවෙන්, එක්සත් ජාතීන්ගේ ඉන්දීය නියෝජිත තානාපති පුනීත් අග්‍රවාල් මැදිහත් වෙමිනි.

"කාන්තාවන්, ළමුන් සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ සුරැකීම සහතික කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා ලෙස අප ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සහය මෙහෙයුම් සංවිධානයෙන් ඉල්ලීමක් කරනවා" යැයි පුනීත් අග්‍රවාල් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ පසුගිය වසරේ ජූලි මාසයේය. එසැණින්, තලේබාන් සංවිධානය යළි බලය අල්ලා ගනිමින් රජයක් පිහිටුවා ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය.

ඒ අනුව, කාන්තාවන්ට නිදහසේ රැකියාවලග නියැලීමට ඇති අයිතිය අහිමි වූවා පමණක් නොව, ඔවුන්ට යළිත් වරක් හිජාබ් සහ බුර්කාවලින් සැරැසීමට පවා සිදුවිය. පුවත් නිවේදිකාවන්ට පවා බුර්කා අනිවාර්ය කෙරුණි. බාලිකා අධ්‍යාපනය ද නවත්වා දමා තිබේ.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS