ඇෆ්ගන් බාලිකා අධ්‍යාපනය නවතී



ඇෆ්ගන් තලේබාන් නව රජය යටතේ, ද්විතීක පාසල් ආරම්භ වී ඇති නමුත්, ද්විතීක බාලිකා පාසල් ආරම්භ වී නොමැති බව පැවැසෙයි.

ඇතැම් බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අවුරුදු 13ත් 18ත් අතර වයසේ පසුවන දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය ලබා නොදීමට ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය තීරණය කර ඇති බවය.

කෙසේ නමුත් තලේබාන් සංවිධානය බලයට පැමිණෙද්දී කියා සිටියේ ෂරියා නීතිය යටතේ බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවත්, බාලිකා පාසල් දිගටම පවත්වාගෙන යන බවත්ය.

2001 වසරේ, ඇමෙරිකා ආක්‍රමණයත්, තලේබාන් පාලනය පෙරළා දැමීමත් සමඟ, එරට දැරියන් පාසල් අධ්‍යාපනයට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් හා සාක්ෂරතාවයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය.

ගතවූ දශක දෙක තුළ දැරියන් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමුවීම ශූන්‍ය අගයක සිට මිලියන 2.5 ක් දක්වා ඉහළ ගියේය. බටහිර රටවල අනුග්‍රහයෙන් බාලිකා පාසල් රැසක් පිහිටුවීම ද සිදුවිය.

මේ අතර, ඊයේ (18) ඇමෙරිකන් ගුවන් හමුදාව කාබුල් අගනුවර අයි.එස්.කේ. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර, එයින් සිවිල් වැසියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

සිවිල් වැසියන් මියගියේ අත්වැරදීමකින් යැයි ඇමෙරිකන් හමුදාව පවසා තිබේ. ඩ්‍රෝන ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තලේබාන් නව රජය ඇමෙරිකාවට දොස් නගා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS