ඇෆ්ගන් ජනාධිපතිවරණය ඇරැඹේ

දැඩි ආරක්ෂාවක් මැද ඇෆ්ගන් ජනාධිපතිවරණය ආරම්භ විය. ඒ, ජනාධිපතිවරණය කඩාකප්පල් කරනවා යැයි තලේබාන් ත්රස්තවාදීන් අනතුරු අඟවා තිබියදීය.
රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද පොළ 5,373 ක් පිහිටුවනු ලැබ ඇත. මැතිවරණ නිලධාරීහු 1,10,000 ක් මැතිවරණ රාජකාරිවල නියැලෙති. ආරක්ෂාවට හමුදාවේත් පොලිසියේත් 72,000 ක් යොදවා ඇත. වයස අවුරුදු 18 වැඩි මිලියන 9.6ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ ඇතැයි පැවැසෙයි. ඇෆ්ගනිස්තානයේ ජනගහනය මිලියන 35කි.
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ දෙවරක් ප්‍රමාද වීමෙන් ද පසුවය. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ විධායක මණ්ඩල ප්‍රධානී අබ්දුල්ලා අබ්දුල්ලාය. 2014 සිට දෙදෙනා බලය බෙදා ගනිමින් ඒකීය රජයක් පවත්වාගෙන ගියහ.
මැතිවරණ කටයුතු ආරම්භ වී පැය කීපයක් ගතවෙද්දී කන්දහාර් නුවර ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් 16 ක් තුවාල ලැබූහ.
ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා 2001 වසරේ තලේබාන් පාලනය පෙරළා එරට ආක්‍රමණය කිරීමෙන් පසු පැවැත්වෙන සිවුවැනි ජනාධිපතිවරණය මෙයයි. 2001 සැප්තැම්බර් 11 වැනිදා, ඇමෙරිකාවට අල් කයිඩා ත්රස්යෝ පහර දුන්හ.
එම ප්‍රාහරය මෙහෙය වූයේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ය. ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිත්නානයට පලා ගොස් ඇෆ්ගනිස්තානයේ සැගවුණේ තලේබාන් සහාය ඇතිවය. ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා ඇෆගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.
වසර 18 කට ආසන්න කාලයක් තලේබාන් ත්‍රස්ත සංවිධානය සමඟ පැවැති යුද්ධය අවසන් කර, සාම සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනපති ට්‍රම්ප් උත්සාහ කළත්, තලේබාන් සංවිධානයේ ප්රචණ්ඩ ක්‍රියා අවසන් නොවන හෙයින් අවසන් මොහොතේ දී එම සාකච්ඡා බිඳ වැටුණි.
(අල් ජසීරා)

