ඇෆ්ගන් ජනපතිට යළිත් ජනවරමක්



පසුගිය සැප්තැම්බරයේ පැවැති ඇෆ්ගන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඊයේ (22) නිකුත් වූ අතර තවත් පස් වසරක ධුර කාලයක් සඳහා බටහිර හිතවාදී ජනාධිපති අෂ්රාෆ් ඝානී ට ජන වරමක් හිමිවිය.

ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත් වූයේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදාය. ජනපතිවරණය පැවැත් වූයේ ඇමෙරිකාව සහ බටහිර රටවල ආධාර යටතේය. අෂ්රාෆ් ඝානී සියයට 50.64 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් බව ඇෆ්ගන් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

අෂ්රාෆ් ඝානීගේ ආසන්නතම ප්‍රතිවාදියා වූයේ අබ්දුල්ලා අබ්දුල්ලාය. මොහුට ලබා ගැනීමට හැකිවූයේ සියයට 39.52 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි පිරිස මිලියන 1.9 කි. ජනාධිපතිවරණය පැවැත්වූයේ තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ වංචා දූෂණ රැසක් සිදුවුණු බවට නිරීක්ෂකයන් චෝදනා කර තිබේ.

ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙද්දී, ඇමෙරිකාව තලේබාන් ත්‍රස්ත සංවිධානයේ දේශපාලන අංශය සමඟ සාම සාකච්ඡා පවත්වන්න විය. කෙසේ නමුත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එම සාම කතා බිඳ වැටුණි. දැන් යළිත් වරක් සාම කතා ආරම්භ වී ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS