ඇෆ්ගන් ජනපති ඝානී ටජිකිස්තානයට පැනලා



තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවරට කඩා වැදුණු අවස්ථාවේදී, බටහිර හිතවාදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අසල්වැසි ටජිකිස්තානයට පලා ගියේය.

අෂ්රාෆ් ඝානී ටජිකිස්තානය පලා ගොස් ඇත්තේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ කැබිනට් මණ්ඩල සාමාජිකයන් ද සමඟ යැයි අල් ජසීරා පුවත් සේවය පවසා ඇත.

තමන් රටින් පලා ගියේ ජනතාව ආරක්ෂා කර ගැනීමට බවත්, තමන් දිගටම බලයේ සිටීමට උත්සාහ කළේ නම්, තලේබාන්වරුන් ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් කාබුල් වැසියන්ට අනතුරක් කිරීමට ඉඩ තිබුණු බවත් ටජිකිස්තානයේ සිට ජනාධිපති ඝානී පැහැදිලි කර තිබේ.

තලේබාන්වරුන් කාබුල් ආක්‍රමණය කළ අවස්ථාවේදී, සාමකාමී ලෙස ඔවුන්ට බලය පවරා දීමක් විය. ඒ අනුව ඇෆ්ගන් රජයට අයත් කබුල් අගනුවර සියලු රජයේ මූලස්ථාන තලේබාන් සාමාජිකයන්ගේ අතට පත් විය.

තමන් අමාරුවේ දමා රටින් පලා ගිය ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගන් ජනතාවගෙන් දෝෂාරෝපණ එල්ල වීමට පටන්ගෙන තිබේ.

මීට දින දෙකකට පෙර අෂ්රාෆ් ඝානී ජාතිය ඇමතුවේය. එහිදී ඔහු කාබුල් වැසියන්ට ප්‍රතිඥා දුන්නේ, තලේබාන් ත්‍රස්තවාදීන්ට කාබුල් අගනුවර යටත් කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත්, ඔවුන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ලකරන බවත් කාබුල් වැසියන් ආරක්ෂා කරන බවත් ය. තලේබාන්වරුන් කාබුල් ආක්‍රමණය කරද්දී ජනාධිපති ඝානී එරටින් පලා ගියේ එසේ පොරොන්දුවක් දී තිබියදීය.

'ජනතාව ආරක්ෂා කර ගන්න ප්‍රතිඥා දුන් ජනාධිපති ඝානී සහ ඔහුගේ ඇමැති මණ්ඩලය ටජිකිස්තානය බලා පලා ගියා. ජනාධිපතිවරවා පලා ගියේ මිලියන 38 ක ජනතාව බිල්ලට දීලා. ජනාධිපතිවරයා ගැන තීන්දුව දෙවියන් වහන්සේට බාරයි' යැයි ජාතික සංහිඳියාව සඳහා වූ මහා සභාවේ සභාපති අබ්දුල්ලා අබ්දුල්ලා පවසා ඇත.

ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ හිටපු උපදේශක ෂෆීක් හම්දාම් ද ඝානීගේ පලා යෑම සම්බන්ධයෙන් ඔහුට දොස් නගා තිබේ. ෂෆීක් හම්දාම් මේ වනවිට රැඳී සිටින්නේ ඇමෙරිකාවේය. 'ජනාධිපති ඝානී කළේ ඉතාමත් නින්දිත ලැජ්ජාශීලී බියගුලු ක්‍රියාවක්. ඔහු ඇෆ්ගන් වැසියන්ට ද්‍රෝහි වුණා. ඇෆ්ගන් වැසියන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී පසුව පලා ගියා' යැයි ෂෆීක් හම්දාම් පවසා තිබේ.

ෂෆීක් හම්දාම් පමණක් නොව, අබ්දුල්ලා අබ්දුල්ලා ද තලේබාන් සංවිධානයෙන් ආයාචනා කර ඇත්තේ ඇෆ්ගන් සිවිල් වැසියන්ට අනතුරක් නොකරන ලෙසය. ඇෆ්ගන් තරුණියන් සහ කාන්තාවන් ආරක්සා කිරීමට කටයුතු කරන්නැයි ද ඔවුන් දෙදෙනා තලේබාන් සංවිධානයෙන් ඉල්ලා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS