ඇස් ආවරණ පලඳින්න ඕනෑ



‘කොවිඞ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ පමණක් නොව, ඇස් ආවරණ පවා පැලැඳිය යුතු යැයි ඇමෙරිකානු විද්‍යාඥයෝ පවසති.

මෙසේ පවසන්නේ ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් ශික්ෂණ රෝහලේ වෛද්‍ය පර්යේෂකයන්ය. ‘කොවිඞ් 19’ වයිරස විෂබීජවල අඩංගු වන විශේෂ ප්‍රෝටීනයකට ඇස් හරහා සිරුරට ඇතුළුවීමට හැකියාව ඇති බව වෛද්‍ය පර්යේෂකයන්  තහවුරු කර තිබේ.

නිවසින් බැහැරව යෑමේදී මුහුණු ආවරණ අනිවාර්ය බවත්, ඇස් ආවරණ පැලඳීම ද යෝග්‍ය බවත් ඒ අනුව වෛද්‍ය පර්යේෂකයන් ජනතාවට දැනුම් දී ඇත.

මුහුණු ආවරණ පලඳින්නැයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස විෂබීජ නාසයෙන් සහ මුඛයෙන් ශරීරයට ඇතුළුවීම අවම කිරීම සඳහාය.

වයිරසය ඇස්වලින් ද ශරීරයට ඇතුළුවන බව මීට පෙර ද වෛද්‍ය පර්යේෂකයන් අනතුරු අඟවා තිබුණි. පළමුවෙන් එම අනතුරු ඇඟවීම කළේ චීන වෛද්‍යවරුන්ය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

චීනයේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා 2,79,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මිලියන 4 කට වැඩි පිරිසක් වයිරසය ආසාදනය වී ඇතැයි ද පැවැසෙයි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස මිලියන 1.3 කි.

වොෂින්ටනයේදීය (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS