ඇමෙරිකාවේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවූයේ මිසෝරි ජනපදයේ, ‘කැස්සාස් සිටී චීෆ්’ පාපන්දු කණ්ඩායමේ ජයග්‍රහණයක් සමරමින් පෙරහරක් පැවැත්වෙද්දීය. ක්‍රීඩා ලෝලීන්ගෙන් දහස් ගණනකගෙන් පෙරහර සමන්විත විය.

වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවකු සැක කෙරේ. වෙඩි තැබීමට සම්බන්ධ යැයි තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගටම පැවැත්වෙයි. වෙඩි තැබීමෙන් සියගියේ ප්‍රදේශීය ගුවන් විදුලි නාළිකාවක නිවේදිකාවක ලෙස කටයුතු කළ ලීසා ලෝපේස් නමැත්තියයි.

වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් මියගියේත් තුවාල ලැබුවේත් ‘කැස්සාස් සිටී චීෆ්’ ක්‍රීඩා ලෝලීන්ය. තුවාල ලැබූවන්ගෙන් නව දෙනකු කුඩා දරුවන්ය. තුවල ලැබූවන් කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.

ජයග්‍රහණය සමරමින්, පැවැති එම පෙරහර, කැන්සාස් සිටී නගරයේ, යූනියන් දුම්රිය ස්ථානය වෙත පැමිණියේ එහි අවසානය සනිටුහන් කරමිණි. ඒ, දහවල් දකට පමණය. පෙරහරේ සිටි පිරිසට වෙඩි ප්‍රහාර එල්ල වූයේ එම අවස්ථාවේදීය.

කැන්සාස් සිටි නගරාධිපති ක්වින්ටොන් ලූකාස් සහ පවුලේ සාමාජිකයන් ද පෙරහරට එක් වී සිටි අතර, වෙඩි ප්‍රහාර එල්ල වෙද්දී, සෙසු පිරිස සමඟ ඔවුහු ද හිස් ලූලූ අත දුවන්න වූහ.

පෙරහරේ ආරක්ෂාව දෙමින් සහ පිරිස හසුරුවමින් පොලිස් නිලධාරීන් 800 දෙනකු සිටි අතර, වෙඩි තැබීම් සිදුවූයේ එම නිලධාරීන් පුදුමයට පත් කරමිණි. වෛද්‍ය ආධාරකරුවන් පැමිණෙන තුරු අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීම කළේ පෙරහරට එක් වී සිටි කැන්සාස් සිටී නගරයේ ගිනි නිවන භටයෝය.


RECOMMEND POSTS