ඇමෙරිකාවේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 50 දෙනෙක් පමණ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි තැබීම් සිදුවූයේ ලෙවිස්ටන් නගරයේ ‘බෝලිං’ ක්‍රීඩාගාරයක සහ ඊට සැතපුම් 4.2 ක් දුරින් පිහිටි අවන්හලකය. වෙඩි තැබීම කළේ 40 හැවිරිදි රොබට් කාඞ් නමැති ඇමෙරිකන් හමුදාවේ අතිරේක බළඇණියකට සම්බන්ධ ගිනි අවි පුහුණුකරුවකු ලෙස රැකියාව කළ අයෙකි.

රොබට් කාඞ්, මේන් ජනපදයේම බෝඩොයින් නගරයේ වැසියෙකි. ඔහු වෙඩි තැබීම කළේ ‘ඒ.ආර්. 15’ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකිනි. වෙඩි තැබීම සිදු කළේ රාත්‍රී 7.15 ට පමණය. වෙඩි තැබීමෙන් පසු රොබට් කාඞ්, පලා ගියේය.     පොලිසිය ඔහුගේ සුදු පැහැති ‘සුබුරු’ වර්ගයේ මෝටර් රථය සොයා ගත්තේ මේන් ජනපදයේ ලිස්බන් වරාය නගරය ආශ්‍රිතවය. ලිස්බන් වරාය නගරය ඇත්තේ ලෙවිස්ටන් නගරයේ සිට සැතපුම් 7 ක් පමණ දුරින් යැයි පැවැසෙයි.

රොබට් කාඞ්, වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය පවසා ඇත්තේ ලිස්බන් වරාය නගරය සහ ඒ අසලින් පිහිටි ඕබර්න් නගරය ද ලොක්ඩවුන් කර ඇති බවත්, රොබට් කාඞ් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත්ය. රොබට් කාඞ්ගේ ඡායාරූ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, ඔහු අල්ලා ගැනීමට සහාය දක්වන්නැයි මේන් පොලිසිය නගර වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS