ඇමෙරිකාවේ වයිරසය තවමත් පාලනය වී නෑ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට ‘කොවිඞ් 19’ වයිරසය හමුවේ අඩපණ වුණු ඇමෙරිකා ආර්ථිකය යළි විවෘත කිරීමට සූදානම් නමුත්, ට්‍රම්ප් විසින් පිහිටුවූ කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා මෙන්ම ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය ඇන්තනි ෆවුචි පෙන්වා දී ඇත්තේ තවමත් ඇමෙරිකාවේ වයිරසය පාලනය වී නොමැති බවය.
ලොව වැඩිම ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ට්‍රම්ප් විසින් පිහිටුවූ කොරෝනා කාර්ය සාධක බලකායේ කිහිප දෙනකුට සහ ධවල මන්දිරයේ කිහිප දෙනකුට වයිරසය ආසාදනය වී ඇත. එහෙයින්, වෛද්‍ය ඇන්තනි ෆවුචි ද මේ වනවිට සිය නිවසේ දින 14 ක් නිරෝධායනයේ පසුවෙයි.
‘කොවිඞ් 19’ වයිරසය හමුවේ ඇමෙරිකාවේ ආර්ථිකව විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් සෙනෙට් කමිටුවක් (පාර්ලිමේන්තු කමිටුවක්) රැස්වී සාකච්ඡා පැවැත්වීය. ඒ, සෞඛ්‍ය, අධ්‍යාපන, රැකියා සහ විශ්‍රාමික කටයුතු සම්බන්ධයෙනි. එම කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නිවසේ නිරෝධායනය වන වෛද්‍ය ෆවුචි සජීවීව සම්බන්ධ කරගත් අතර, ඇමෙරිකාවේ වයිරසය තවමත් පාලනය වී නොමැති බව වෛද්‍යවරයා එම අවස්ථාවේදී පැහැදිලි කළේය.
ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, ලොව පුරා මිලියන 4.26 කට වයිරසය ආසාදනය වී ඇත. වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. මේ වනවිට වූහාන් නුවරින් යළි වයිරස ආසාදිතයන් හමුවී ඇතැයි පැවැසෙයි. ‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් මියගිය ගණන 2,91,000 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ ගණන 82,000 ඉක්මවා ගොස් ඇත. වයිරසය ආසාදනය වී ලොව පුරා සුවය ලැබූ ගණන මිලියන 1.5 කි.
(රොයිටර්)

