ඇමෙරිකාවේ යළිත් කොරෝනා වැඩිවෙයි



ඇමෙරිකාවේ ජනගනයෙන් සියයට 75 කට වඩා වැඩි පිරිසකට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඇමෙරිකාවේ යළි කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි.

ඇමෙරිකානු රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයට අනුව සෑම ඇමෙරිකානුවන් දෙදෙනකුගෙන් එක් අයකුම පූර්ණ වශයෙන් එන්නත් කර ඇත. සිය ජාතික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර මාස අටකට පසු මෙම සන්ධිස්ථානය පසු කර යෑමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වුණු බව ද පැවැසෙයි.

ඇමෙරිකාව ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා යන සමාගම්වල මාත්‍රා දෙකකින් යුත් කොවිඩ්-19 එන්නත්වලටත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එක් මාත්‍රවකින් සමන්විත කොවිඩ්-19 එන්නතටත් අවසර ලබා දී ඇත.

නියමිත පරිදි එන්නත් ලබා ගැනීම කළත්, 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවත්, නිවසින් පිටතට යෑමේදී මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම සහ දෑත් පිරිසුදුව තබා ගැනීම ඉතාමත් වැදගත් බවත් ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

ඇමෙරිකන් සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය හමුවේ යළිත් වරක් ඇමෙරිකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවය. එන්නත්කරණය නිසා යම් අඩුවක් දකින්න ලැබුණත්, තවමත් ලොව කොරෝනා ආසාදිතයන් අතින් සහ මරණ අතින් ඉහළින්ම ඇත්තේ ඇමෙරිකාවය.

(රොයිටර්)


RECOMMEND POSTS