ඇමෙරිකාවෙන් සිරියාවට ප්‍රහාර



ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අනුමැතිය පරිදි ඇමෙරිකන් නාවික හමුදාව අද අලුයම සිරියානු රජයට අයත් ගුවන් හමුදා කඳවුරකට කෲස් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කළේ සිරියාවේ මධ්‍යම හොම්ස් පළාතේ පිහිටි සිරියානු රජයට අයත්  ෂයිරාත් ගුවන් හමුදා කඳවුරට එම මිසයිල ප්‍රහාර එල්ල කළ බවය.

සිරියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් එම ප්‍රහාරය එල්ල කළ බවත්, ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ‘ටමහෝක්’ වර්ගයේ දිගු දුර කෲස් මිසයිලය. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ කඳවුරට මිසයිල 59 ක් එල්ල කර ඇති බවය.

මිසයිල ප්‍රහාරවලින් ගුවන් කඳවුරේ ගුවන් පථ, සිරියානු රජයට අයත් ප්‍රහාරක ගුවන් යානා ආදී සියල්ල විනාශ වූ බව තහවුරු වී ඇතැයි ද පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටී.

පසුගිය 4 වැනිදා, මධ්‍යම සිරියාවේ ගම්මාන සහ නගර කිහිපයකට ‘සරීන්’ නමැති රසායනික විස වායු ප්‍රහාර එල්ල විය. එම විස වායු ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 50 කට ආසන්න සිවිල් වැසියෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සිය ගණනක් රෝගී වූහ.
එම ප්‍රහාරය එල්ල කළේ සිරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා බවත්, ප්‍රහාරය සඳහා එම යානා ගුවන් පැමිණ ඇත්තේ ෂයිරාත් ගුවන් කඳවුරේ සිට බවත් මේ වනවිට තහවුරු වී ඇත. ඇමෙරිකාව ගුවන් හමුදා කඳවුර විනාශ කළේ එහෙයිනි.

මියගිය සිවිල් වැසියන් සම්බන්ධයෙන් තුර්කිය මැදිහත් වී සිදුකළ මරණ පරීක්ෂණවලදී ද තහවුරු වූයේ ඔවුන් ‘සෙරීන්’ විස වායු ප්‍රහාරයකට ලක් වී මියගිය බවය.

කෙසේ නමුත් සිරියානු ජනපති බෂීර් අල් අසාද් මෙන්ම එරට හමුදාව ද පවසා ඇත්තේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් කිසිදු අවස්ථාවක රසායනික අවි ප්‍රහාරයක් එල්ල නොකළ බවය.

කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, සිරියානු ජනපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ ෂියා මුස්ලිම් රජයට එරෙහිව තමන් කඩිනමින් පියවරක් ගන්නා බවත් ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්පසුගිය දා අවධාරණය කර තිබුණි.

ඇමෙරිකාව මේ අයුරින් සිරියානු රජයේ ගුවන් කඳවුරක් විනාශ කිරීම තෙවැනි ලෝක යුද්ධයට මුල පිරීමක් සිදුවේවි යැයි ලෝක දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

ඊට හේතුව සිරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාවත්, රුසියාවත් බල කඳවුරු දෙකක් ලෙස බෙඳී වෙන්වී සිටීමය. ඇමෙරිකාව සහාය දක්වන්නේ සිරියානු රජය පෙරැළීමට සටන් වදින විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කුර්දි සටන්කාමීන්ටය.

සිරියාවේ වේලාවෙන් අලුයම 3.40 ට පමණ සිරියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැව් එම මිසයිල ප්‍රහාරය එල්ල කළ බවත්, මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙර ඒ බව රුසියාවට දැනුම් දුන් බවත් ඇමෙරිකන් නාවික හමුදා කපිතාන් ජෙෆ් ඬේවිඞ් පවසා ඇත.

සිරියානු අර්බුදයේ දී රුසියාව සහාය දක්වන්නේ සිරියානු රජයේ පාර්ශ්වයටය. සිරියානු රජය පෙරළා දැමීමට සටන් වදින එරට සන්නද්ධ විපක්ෂ කණ්ඩායම්වලට අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් එක් වෙද්දී, රුසියාව සිරියානු අර්බුදයට මැදිහත් විය.
රුසියාවට ඉරානයේ ද සහාය හිමිවිය. ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වෙයි. පසුගිය දා විස වායු ප්‍රහාරය එල්ල වුණු  අවස්ථාවේදී, ඉරානය ද ඒ ගැන සිය අප්‍රසාදය පළ කර තිබුණි.

අල්  ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS