ඇමෙරිකානුවන් සියයට 50 කට එන්නත් ලැබී අවසන්



ඇමෙරිකා ජනගහනයෙන්, අවුරුදු 12 ට වැඩි, සියයට 50 කට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ධවල මන්දිරය පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකානුවන් මිලියන 165 කට (සියයට 50) නියමිත මාත්‍රාවලින් ලැබී ඇත්තේ 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත්ය. මෙම එන්නත් ඇමෙරිකාවේ නිපදවන ලද එන්නත්ය. අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුදැරියන්ට ලබා දී ඇත්තේ 'ෆයිසර්' එන්නතය.

ඊට අමතරව, එක් මාත්‍රාවකින් සමන්විත 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ද ජනතාවට ලැබී ඇත. මෙම එන්නත හේතුවෙන් ද රුධිර කැටි ගැසීම් ඇතිවන බැවින්, බොහෝ ඇමෙරිකානුවන් ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇත්තේ ඇත්තේ 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත් පමණි.

එසේ වුවත් මේ වනවිට ඇමෙරිකාවේ 'කොවිඩ් 19' වයිරසය යළි හිස ඉසවීමට පටන්ගෙන ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදය නිසා යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගත්තත්, මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම ආදී යහපත් සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පිළිපැදිය යුතු බව ද සෞඛ්‍ය අංශ අවධාරනය කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS