ඇමෙරිකා ඉතිහාසයේ දැවැන්තම නඩුව ඇරඹෙයි

ෆේස්බුක්, වොට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන ‘මෙටා’ සමාගමට එරෙහිව, ඓතිහාසික නඩු විභාගය ආරම්භ විය.
කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි, නිව් ජර්සි යන ජනපද එක් වෙමින්, මාර්ක් සකර්බර්ගේ ‘මෙටා’ සමාගමට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
ඒ, දරුවන් සහ නව යොවුන් පරිශීලකයන් තම ෆේස්බුක්, වොට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකාවලට ඇබ්බැහි කර ගැනීමට ‘මෙටා’ සමාගම කටයුතු කරනවා යැයි චෝදනා නගමිනි.
කැලිෆෝනියා ජනපදයේ ෆෙඩරල් අධිකරණයකදී විනිසුරු ඉවෝන් ගොන්සාලෙස් රොජර්ස් ඉදිරියේ නඩු විභාගය ආරම්භ වුණු අතර, එය සති කිහිපයක් පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.
නඩුව සඳහා සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් සිටියද , ඔවුන් උපදේශක භූමිකාවක් පමණක් ඉටු කරන අතර අවසන් තීන්දුව ලබාදීමේ බලය විනිසුරුවරුය.
කැලිෆෝනියා නියෝජ්‍ය නීතිපති මේගන් ඕ’නීල් නඩුවේ ආරම්භක කරුණු ඉදිරිපත් කරමින් චෝදනා කර ඇත්තේ, පරිශීලකයන් හැකිතාක් වේලාවක් සමාජ මාධ්‍යවල රඳවා තබා ගැනීමටත්, ඔවුන්ගේ දත්ත එකතු කිරීමටත් හැකි වන පරිදි ‘මෙටා’ සමාගම ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකා නිෂ්පාදන සැලසුම් කර ඇති බවය.

