ඇමෙරිකවේ මුස්ලිම් පල්ලියකට වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝ නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් තිදනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ නව යොවුන් වියේ තරුණයන් දෙදෙනකු බවත්, එය මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් බවත් පොලිසිය පැහැදිලි කළේය.

සැන් දියේගෝ පොලිස්පති ස්කොට් වොහාල් මාධ්‍ය හමුවේ කියා සිටියේ, වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පල්ලිය පිහිටි ස්ථානයට යද්දී වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා වෙඩි තබාගෙන දිවි නසාගත් බවය. එම තරුණයන් දෙදෙනා අවුරුදු 17 සහ 18 පසුවන්නන් බව ද පොලිස්පති වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණ පැවැත්වෙයි. ඊට නායකත්වය දෙන්නේ එෆ්.බී.අයි. කාර්යාංශයයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් සැන් දියේගෝ මුස්ලිම් ප්‍රජාව දැඩි ලෙස කම්පනයට පත්ව ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සැන් දියේගෝ මුස්ලිම් ප්‍රජාව වාසය කරන පළාත්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට ද කටයුතු කර ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.


RECOMMEND POSTS