ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ටිලර්සන් රුසියාවේ



සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේය.

ටිලර්සන් සහ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ් හමුවුණු අවස්ථාවේදී දෙදෙනා අතට අත දුන්නේ ද කිසිදු සුහදත්වයකින් තොරවය.

සිරියාවට එරෙහිව පසුගිය දා ඇමෙරිකාව එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව සිය විරෝධය පළ කර ඇත. යළි සිරියාවට පහරදීමක් කළොත් ඒ ගැන නිහඬව නොසිටින බව ද රුසියාව ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ටිලර්සන් රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේ ඇමෙරිකාව සහ රුසියාව අතර උණුසුම් තත්ත්වයක් පවතිද්දීය.
ටිලර්සන් සහ ලැව්රෝෆ් හමුවුණු අවස්ථාවේදී අකමැත්තෙන් මෙන් අතට අත දීමෙන් පසු, සිරියානු අර්බුදය ගැන සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා අසාර්ථක විය.

බොහෝ දෙනා බිය පළ කර ඇත්තේ සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් තෙවැනි ලෝක යුද්ධය හට ගනීවි කියාය.

රුසියානු ජනාධිපති පුටින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ටිලර්සන් හමුවීම මුලදී ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් පසුව දෙදෙනා හමුවුණු බව ද වාර්තා වේ. කෙසේ නමුත් දෙදෙනා අතර වාද විවාද පැවැති බවත් කිසිදු එකඟතාවක් ඇති කර නොගැනුණු බවත් විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS