ඇමෙරිකන් පොලිසියට නව මුහුණුවරක්

පොලිස් අත්අඩංගුවේ සිටිද්දී, කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇමෙරිකන් පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වෙයි.
ෆ්ලොයිඞ්ගේ මරණින් පසු, ඇමෙරිකන් පොලිස් නිලධාරීන්ට එල්ල වුණු විරෝධය සහ අප්‍රසාදය සැලකිල්ලට ගනිමින්, පොලිසියේ මුහුණුවර මෙසේ වෙනස් කරන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඞ් මියගියේ පසුගිය මැයි 25 වැනිදාය. ඒ, මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය. කළු ජාතික ෆ්ලොයිඞ් අත්අඩංගුවට ගැණුනේ ඔහු සතුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් වූ බැවිනි. ෆ්ලොයිඞ්ගේ ගෙල දණහිසින් තද කරගෙන සිටි පොලිස් නිලධාරියා ඩෙරෙක් චෝවින් ය.
ගෙල සිරවී හුස්ම ගැනීමට නොහැකි වූ ෆ්ලොයිඞ් මියගිය අතර, එම සිදුවීමේ දසුන් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙද්දී, ඇමෙරිකන් කළු ජාතිකයන්ට ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් සහ ෆ්ලොයිඞ් ට සාධාරණයක් ඉල්ලමින් විරෝධතා ඇරැඹිණි.
මිනියැපොලිස් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ වෙද්දී, ඔවුන් වහා සේවයෙන් නෙරපා දැමුණි. පළමුවෙන් මිනීමැරැම් චෝදනා එල්ල වූයේ ඩෙරෙක් චෝවින් ට පමණි. සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට චෝදනා එල්ල වූයේ විරෝධතා උත්සන්න වී විරෝධතාකරැවන්ගේ බලපෑම් නිසාය. එය සිදුවූයේ දින කීපයකට පසුවය.
විරෝධතා උත්සන්න වෙද්දී, විරෝධතාකරුවෝ මිනියැපොලිස් පොලිස් ස්ථානයට කඩා වැදී පහර දී එය ගිනිබත් කළහ. ඒ අනුව, අපකීර්තියට පත්වුණු මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ද කඩා දමා එය යළි ඉදි කිරීමට ද මිනියැපොලිස් නගර බලධාරීන් තීරණය කර ඇත. එය මිනියැපොලිස් පොලිසිය කෙරෙහි නගර වැසියන්ගේ විශ්වාසය යළි ඇති කිරීමේ අරමුණින්ය.
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයට අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ සිටින සෙසු පොලිස් නිලධාරීන්ගෙන් කෙනකු වන තෝමස් ලේන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඇමෙරිකන් ඩොලර් 750,000 ක මුදකට ඇප හිමිවිය. ඒ අනුව, 37 හැවිරිදි තෝමස් ලේන් හෙනෙපින් ප්‍රාන්ත බන්ධනාගාරයෙන් පිටවී ගිය බව පැවැසෙයි. සෙසු පොලිස් නිලධාරීන් දෙදෙනාත්, මිනීමැරුම් චෝදනා එල්ල වූ ඩෙරෙක් චෝවින් ද පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. ඩෙරෙක් චෝවින් ට නියම කෙරුණු ඇප මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.25 කි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

