ඇමෙරිකන් ජනපතිවරණය හෙට
ඇමෙරිකාවේ 47 ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා එරට ජනතාව හෙට (05) ඡන්දය ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.
ඇමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවන අතර මේ වනවිටත් මිලියන 77.6 ක ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්ය. පසුගිය සැප්තැම්බර් මාසය වනවිට ඇමෙරිකානුවන් මිලියන 186.5 ක් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටියහ.
මෙවර ජනධිපතිවරණයේදී සියයට 25.1 ඡන්දය ලකුණු කිරීමේ ඉලෙක්ට්‍රොනික් පද්ධති ඔස්සේ සිය ඡන්දය ප්‍රකාශයට පත් කරන අතර සියයට 69.9 ක් සම්ප්‍රදායික ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. එසේම තවත් සියයට 5 ක් ඩිරෙක්ට් රෙකෝඩින් ඉලෙක්ට්‍රොනික් පද්ධති ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරයි.
බොහෝ ප්‍රාන්තවල එරට වේලාවෙන් පෙරවරු 7 ත් 9 ත් අතර ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වීමට නියමිත අතර ඇමෙරිකාවේ නැගෙනහිර කලාප වේලාවෙන් පස්වරු 7ත් 11ත් අතර ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමට නියමිතය.